නානුඔය දුම්රිය පාලම අසලදී සිදුවූ අවාසනාවන්ත සිදුවීම.. සංචාරකයන් පිරිසක් රැගෙත් වෑන් රථයක යතුරුපැදියක් ගැටී තරුණියක් ජීවිතක්ෂයට..
ඉන්දියානු සංචාරකයන් පිරිසක් රැගෙන නුවරඑළිය දෙසට ධාවනය වූ වෑන් රථයක යතුරුපැදියක් ගැටීමෙන් අවාසනාවන්ත ලෙස තරුණියක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් නානුඔය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙසේ මියගොස් ඇත්තේ නානුඔය ප්‍රදේශයේම පදිංචිව සිටි 37 හැවිරිදි තරුණියක්.
අද (19) උදෑසන 10:00ට පමණ හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ නානුඔය දුම්රිය පාලම අසලදී මෙම ඛේදනීය අනතුර සිදුව තිබෙනවා.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකාර තරුණිය වහාම නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී නැහැ.
වෑන් රථයේ රියදුරාගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට ප්‍රධාන හේතුව වී ඇති අතර, ප්‍රහාරයේ සැරට වෑන් රථයට මෙන්ම යතුරුපැදියටද බරපතල හානි සිදුව ඇති බව නානුඔය පොලිසිය සඳහන් කරනවා.
සිද්ධියට සම්බන්ධ වෑන් රථයේ රියදුරා සැකපිට නානුඔය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.