එංගලන්තයට එරෙහි අවසන් විස්සයි විස්ස සටන අද රාත්‍රියේ.. අමිහිරි පරාජයන් දෙකකට පසු ශ්‍රී ලංකා පිල අද පිටියට..
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්තය අතර පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (19) රාත්‍රියේ පැවැත්වීමට නියමිතයි.
මැන්චෙස්ටර් හිදී පැවැත්වෙන මෙම තීරණාත්මක තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 7.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
තරගාවලියේ පළමු තරග දෙකම ජයග්‍රහණය කිරීමට සමත් වූ එංගලන්ත කණ්ඩායම මේ වන විටත් 2ට 0ක් ලෙස තරගාවලියේ ජය තමන් සතු කරගෙන අවසන්.
පළමු තරග දෙකේදීම දැඩි අමිහිරි පරාජයන්ට මුහුණ දීමට සිදු වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අතුගෑවී යාමෙන් බේරී තමන්ගේ ගෞරවය රැක ගැනීමට නම් අද පැවැත්වෙන තරගය අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කිරීමට සිදු වෙනවා.
මේ අතර, එංගලන්තය සමග පැවැති පන්දුවාර 20 තරගාවලිය සඳහා ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්සයි නිත්‍ය නායක කුසල් මෙන්ඩිස් සහ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ඊයේ දිනයේදී එංගලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඔවුන් දෙදෙනා ඉදිරියේදී ආරම්භ වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය හා එක්වීමට නියමිතව තිබෙනවා.