අධිවේගයේ යන සියලුම මගීන්ට ආසන පටි අනිවාර්ය කෙරේ.. ආසන පටි නොපැලඳ ගියොත් වැඩ වරදින ලකුණු..
අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලුම මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් නව රථවාහන නීති මාලාවක් ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට අනිවාර්ය කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව අධිවේගී මාර්ගයේ ධාවනය වන සියලුම රථවාහනවල සෑම ආසනයකම ගමන් ගන්නා මගීන් ආසන පටි පැලඳීම මින් ඉදිරියට අනිවාර්ය කර තිබෙනවා.
මෙම ආසන පටි පැළඳීමේ නීතිය අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අතර, එහි පළමු අදියර පසුගිය වසරේ ජුනි පළමු වැනිදා සිට ආරම්භ වුණා.
එමගින් සියලුම මාර්ගවල ධාවනය කරන බස් රථවල රියැදුරන්ට ආසන පටි පැළදීම අනිවාර්ය කෙරුණු අතර, දෙවැනි අදියර යටතේ සියලුම අධිවේගී මාර්ගවල ධාවනය කරන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල ගමන් කරන මගීන්ටද ආසන පටි පැළඳීම අනිවාර්ය කර තිබුණා.
මේ සඳහා වාහන හිමියන්ට සහ මගීන්ට ලබා දී තිබූ සහන කාලය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ අතර, ඒ අනුව අද සිට අධිවේගී මාර්ගයට ඇතුළු වන සියලුම මගීන් මෙම නීතියට අනුගත විය යුතුයි.
ආරක්ෂාව වෙනුවෙන් පනවන ලද මෙම නීතිය කඩකරන පිරිස් වෙත නීතිමය පියවර ගැනීමටද ඉදිරියේදී කටයුතු කිරීමට නියමිතයි.