වරාය පිවිසුමේදී සිදු වූ අනතුරෙන් නාවික නියමුවෙකු බේරෙයි.. නාවික හමුදා සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම සාර්ථකයි..
කොළඹ වරාය වෙත පැමිණි වෙළඳ නෞකාවක් වරාය පරිශ්‍රය තුළට ආරක්ෂිතව රැගෙන ඒම සඳහා ඊට ගොඩවීමට උත්සාහ කිරීමේදී හදිසියේම මුහුදට වැටුණු නාවික නියමුවෙකු (Harbour Pilot) නිරුපද්‍රිතව මුදා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වී තිබෙනවා.
අදාළ නෞකාව වරාය තුළට ගෙන ඒමට මඟපෙන්වීම සඳහා ඊට නැගීමට උත්සාහ කිරීමේදී මෙම නාවික නියමුවා හදිසියේම මුහුදට වැටී ඇති බව නාවික හමුදාව නිල වශයෙන් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරාය පාලන මැදිරිය මඟින් ලද හදිසි දැනුම් දීමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව, වරාය පිවිසුම ආසන්නයේ මුර සංචාරයේ නිරතව සිටි P 163 වෙරළබඩ මුර සංචාරක යාත්‍රාව සෙවීමේ හා මුදාගැනීමේ මෙහෙයුම සඳහා එම ස්ථානයට යොමු කර තිබෙනවා.
ඒ අනුව, ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදා නිලධාරීන් විසින් මුහුදේ සිටි නාවික නියමුවා නිරුපද්‍රිතව සොයාගෙන බේරාගැනීමට කටයුතු කළ අතර, ඉන් අනතුරුව ඔහුව ආරක්ෂිතව කොළඹ වරාය මෙහෙයුම් පාලන ජැටිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.