දානමය පින්කම් පවා අවසන් කළ පසු නිවසට ආ අමුත්තා.. මියගියා යැයි සිතා භූමදානය කළ පුද්ගලයා මාස දෙකකට පසු පණපිටින් නිවසට එයි..
ජීවිතක්ෂයට පත් වූ බව සිතා භූමදාන කටයුතු මෙන්ම සාංඝික දානමය පින්කම් පවා සිදුකළ පුද්ගලයෙකු මාස දෙකකට ආසන්න කාලයකට පසු නැවත පණපිටින් නිවසට පැමිණීමේ විශ්මයජනක පුවතක් කොකාවැව පොලිස් වසමෙන් වාර්තා වුණා.
මීට මාස දෙකකට පමණ පෙර හදිසියේම අතුරුදන් වූ මෙම පුද්ගලයා, මීට ඉහතදීත් දින කිහිපයකට නිවසින් පිටව ගොස් නැවත පැමිණීමේ පුරුද්දක් සතුව තිබීම නිසා පවුලේ අය මුලදී ඒ පිළිබඳව උනන්දු වී නැතත්, සතියකට වඩා කාලයක් ගතවීමෙන් පසු බිරිඳ විසින් කොකාවැව පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.
ඉන් පසු දින කිහිපයක් ගතවීමෙන් අනතුරුව හබරණ පොලිස් වසමේ රක්ෂිතයක තිබී වස පානය කර මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවූ බවට අගෝස්තු 27 වනදා කොකාවැව පොලිසියෙන් ලද තොරතුරකට අනුව පවුලේ ඥාතීන් එම සිරුර පරීක්ෂා කිරීමට පියවර ගෙන තිබෙනවා.
එහිදී අදාළ මළසිරුරේ තිබූ ඇඳුම්, තම පුතු විසින් අලුත් අවුරුද්දට පියාට අරන් දුන් ඇඳුම්වලට සමාන වීම නිසා එය තම සැමියාගේම සිරුර බවට බිරිඳ ඇතුළු ඥාතීන් විසින් තහවුරු කරගෙන තිබුණා.
ඒ අනුව අගෝස්තු 31 වන දින පොළොන්නරුව ප්‍රදේශයේදී අදාළ සිරුර භූමදානය කර, ආගමික වතාවත්වලට අනුව සාංඝික දානමය පුණ්‍යකර්ම ද සැප්තැම්බර් 06 සහ 07 දිනවල සිදු කිරීමට පවුලේ අය කටයුතු කළා.
කෙසේ වෙතත්, මියගිය බවට පවුලේ සැවොම විශ්වාස කළ මෙම පුද්ගලයා හදිසියේම බස් රථයකින් තම නැගණියගේ නිවසට පැමිණ ඇති අතර, ඒ පිළිබඳව ලද ඇමතුමකට අනුව වහාම ක්‍රියාත්මක වූ නිවසේ පිරිස මේ පිළිබඳව කොකාවැව පොලිස් ස්ථානය දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙලෙස පණපිටින් පැමිණි පුද්ගලයා සම්බන්ධයෙන් මෙන්ම, මීට පෙර භූමදානය කරන ලද්දේ කාගේ මළසිරුරක්ද යන්න පිළිබඳව සොයා බැලීමට කොකාවැව පොලිසිය මගින් ඉදිරි විමර්ශන කටයුතු සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.