රැකියාවකට නොයන කාන්තාවන් ලක්ෂ 62කගේ ඇත්ත කතාව.. උසස් අධ්‍යාපනය, අසනීප සහ පවුලේ බර ගැන අනාවරණයක්..
ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ලක්ෂ හැට දෙකක් පමණ කිසිදු රැකියාවක නිරත නොවන බවත්, ඉන් 58.1%ක්ම රැකියාවක් කිරීමට අපේක්ෂා නොකරන්නේ පවුලේ වගකීම් එසේත් නැතිනම් ගේදොර වැඩකටයුතු නිසා බවත් අද (18) දින ප්‍රධාන ජාතික පුවත්පතක් වාර්තා කළා.
විශේෂයෙන්ම වැඩකරන වයසේ පසුවන අවුරුදු 25ත් 34ත් අතර රැකියාවක් නොකරන කාන්තාවන්ගෙන් 87%ක් සහ අවුරුදු 35ත් 54ත් අතර කාන්තාවන්ගෙන් 93.6%ක්ම රැකියාවකට නොයාමට ප්‍රධානතම හේතුව ලෙස දක්වා ඇත්තේ ගෙදරදොර නඩත්තු කටයුතු සහ පවුලේ වගකීම් ඉටුකිරීමයි.
කෙසේ වෙතත්, මෙරට කාන්තාවන්ගෙන් විශාල පිරිසක් රැකියාවක් නොකර සිටින්නේ ඔවුන්ට රැකියාවක් කිරීමේ අවශ්‍යතාවක් හෝ හැකියාවක් නොමැති නිසා නොවන බව එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය (UN Women) පෙන්වා දී තිබෙනවා.
කාන්තාවන්ගේ දෛනික ජීවිතයේ වැඩි කාලයක් ආහාර පිසීම, නිවස පිරිසිදු කිරීම, ඇඳුම් සේදීම, දරුවන් බලාගැනීම මෙන්ම වැඩිහිටි සහ රෝගී පවුලේ සාමාජිකයින් රැකබලා ගැනීම වැනි වැටුප් නොලැබෙන නිහඬ සේවාවන් සඳහා වැය කිරීමට සිදුවීම මීට ප්‍රධාන හේතුව වී තිබෙනවා.
මෙම වාර්තාවට අනුව, මෙරට රැකියාවක් නොකරන කාන්තාවන් ලක්ෂ 62කගේ සංඛ්‍යාලේඛන විෂමතාවයන් දෙස බැලීමේදී, 17.8%ක් උසස් අධ්‍යාපන කටයුතුවල නිරත වීම නිසා රැකියා අපේක්ෂා නොකරන අතර 16%ක් රැකියා නොකරන්නේ විශ්‍රාමික වයස පසුකර සිටීම හේතුවක්.
එසේම තවත් 6.6%ක පිරිසක් විවිධ අසනීප හෝ ආබාධිත තත්ත්වයන් නිසා රැකියාවල නිරත නොවන බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වෙනවා.