ගුණාත්මකභාවයෙන් තොර ඩයපර්ස් වෙළෙඳපොළට දැමූ ආයතන 5කට අධිකරණයෙන් දඩ.. ඇසුරුම් 87ක් විනාශ කිරීමට නියෝග..
භාවිතයේදී දිරාපත්ව ඉරී යන බාල ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් ලැබුණු පැමිණිලි මත පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකළ වැටලීම්වලදී ව්‍යාපාරික ස්ථාන 05කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු සඳහන් නොකර විධාන අංක 85 උල්ලංඝනය කරමින් ඩයපර්ස් අලෙවි කිරීම සහ බෙදාහැරීම සම්බන්ධයෙන් මෙලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පියවර ගෙන ඇති බව නිවේදනය කෙරනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය (අංක 05) හමුවේ අදාළ නඩු කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරික ස්ථාන 05 සඳහා රුපියල් 140,000ක සමස්ත දඩයක් නියම කිරීමට අධිකරණය පියවර ගත්තා.
එමෙන්ම නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ළදරු සහ වැඩිහිටි ඩයපර්ස් ඇසුරුම් 87කට ආසන්න සමස්ත තොගයම සම්පූර්ණයෙන්ම විනාශ කර දමන ලෙසයි අධිකරණය විසින් වැඩිදුරටත් නියෝග කර සිටියා.
මේ අතර ළදරුවන් සහ වැඩිහිටියන් සඳහා භාවිත කරන ඩයපර්ස් ඇතුළු සනීපාරක්ෂක නිෂ්පාදන මිලදී ගැනීමේදී ඇසුරුමේ සඳහන් ලේබල් තොරතුරු (ආනයනකරුගේ නම, ලිපිනය, දුරකථන අංකය හෝ වෙබ් අඩවි තොරතුරු) හොඳින් පරීක්ෂා කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පාරිභෝගික ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කර තිබෙනවා.
යම් හෙයකින් එවැනි නිෂ්පාදනයක ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් නිරීක්ෂණය වුවහොත්, අදාළ ඇසුරුම සහ බිල්පත සුරක්ෂිතව තබාගෙන 1977 කෙටි ඇමතුම් අංකය ඔස්සේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත වහාම දැනුම් දෙන ලෙසද අධිකාරිය වැඩිදුරටත් මතක් කර සිටිනවා.