මෙරට සමස්ත මරණවලින් 80%කටම හේතුව බෝනොවෙන රෝග.. "ආරෝග්‍යා" සහ විශේෂිත ක්‍රමවේද හරහා රෝග පාලනයට පියවර..
මෙරට සිදුවන සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව වී ඇත්තේ බෝනොවෙන රෝග (NCDs) බවත්, එම මරණ අතරින් ඉදිරියෙන්ම පවතින්නේ අධික රුධිර පීඩනය සහ දියවැඩියාව බවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.
මෙම රෝග දෙක එකිනෙක හා සම්බන්ධ වීමෙන් පුද්ගලයෙකුගේ සෞඛ්‍ය පද්ධතිය තුළ බරපතළ සංකූලතා රැසක් ඇති වන අතර, එහි දරුණුතම ප්‍රතිඵලය වන්නේ හෘදයාබාධ (MI) ඇති වීම බව ඔහු පෙන්වා දෙනවා.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නවීන හෘද ප්‍රතිකාර සංකීර්ණයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (16) පස්වරුවේ එක්වෙමින් ලේකම්වරයා මෙම කරුණු අවධාරණය කළා.
ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය දෙස බලන විට අධික රුධිර පීඩනයෙන් පෙළෙන පිරිසගෙන් සාර්ථක පාලනයක සිටින්නේ 50%ක් පමණක් බවත්, දියවැඩියා රෝගීන්ගෙන් නිසි පාලනයක සිටින්නේ 25%ක් වැනි කුඩා ප්‍රතිශතයක් පමණක් බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා සඳහන් කළා.
මෙම තත්ත්වය අද වන විට සමාජය තුළ විශාල ගැටලුවක් බවට පත්ව ඇති අතර, රට පුරා නවීන පහසුකම් ඇති කරන අතරම අපගේ සෞඛ්‍ය පද්ධතිය විසින් මෙරට ජනගහන ව්‍යුහය සහ රෝග තත්ත්වයන්ගේ ඇති වී තිබෙන වෙනස හඳුනාගෙන ඊට ගැලපෙන ක්‍රමවේදයන් සකස් කරගත යුතුව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කර සිටියා.
ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිවලට අනුව, සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මාර්ගෝපදේශකත්වය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විටත් මෙවැනි දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.
එහි ප්‍රධාන කොටස් වන ආරෝග්‍යා (Arogya), Cluster Systems සහ High-End Care Institutions යන පද්ධතීන් අපගේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ගැලපෙන ලෙස සකස් කරගනිමින් ඉදිරියට පවත්වාගෙන යාම බෝනොවෙන රෝග පාලනය සඳහා ඉතා වැදගත් වෙනවා.