මත්පැන් සාදය අතරතුර ඇති වූ බහින්බස් වීමකින් මිතුරා උඩුමහලින් තල්ලුකර මරාදමලා.. සීදූව නගරයෙන් ඇසුණු අවාසනාවන්ත පුවත..
සීදූව නගරයේ පිහිටි හෝටලයක සේවය කළ සේවකයෙකු එහි උඩුමහලෙන් බිමට තල්ලු කර ඝාතනය කර ඇති බව සීදූව පොලිසිය නිල වශයෙන් ප්‍රකාශ කර සිටිනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇති මරණකරු අදාළ හෝටලයේම උඩුමහලේ නවාතැන් ගෙන සිටි සේවකයෙකු බව දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය හෝටල් සේවකයා සහ එම හෝටලයේම සේවය කරනු ලබන ඔහුගේ මිතුරෙකු ඊයේ (16) රාත්‍රියේ උඩුමහලේ සිට මත්පැන් පානය කරමින් සිට ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීන් සඳහන් කළා.
එහිදී ඔවුන් දෙදෙනා අතර හදිසියේ ඇති වූ උණුසුම් බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් අදාළ සේවකයාව උඩුමහලෙන් පහළට තල්ලු කර මෙම ඝාතනය සිදු කර ඇති බවට හෙළි වී තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බෝයගනේ ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වූ සීදූව පොලිසිය විසින් අවුරුදු 41ක් වයසැති සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සීදූව පොලිස් ස්ථානය මගින් සක්‍රීයව ක්‍රියාත්මක කරනු ලබනවා.