රුපියල් 500ක අල්ලසක් ගත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණ සේවකයා මාට්ටු.. අල්ලස් කොමිසමෙන් හදිසි වැටලීමක්..
රුපියල් 500ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව මත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සේවය කරනු ලබන කාර්යාල කාර්ය සහයකයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ වංචා විමර්ශන කාර්යාංශය මගින් පවරා තිබූ මුදල් ආරවුලකට අදාළ නඩුවක් සාර්ථකව සමථයට පත්වීමෙන් පසු, එම නඩු තීන්දුවේ නිල පිටපතක් අදාළ පාර්ශ්වය වෙත ලබා දීම වෙනුවෙන් සැකකරු විසින් මෙලෙස රුපියල් 500ක අල්ලස් මුදල ඉල්ලා ඇති බව වාර්තා වුණා.
ඊයේ (16) පස්වරු 3.35 ට පමණ කොටුව මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.