පුංචි ලෝකාන්තයෙන් වැටුණු තරුණයාගේ සිරුර ගොඩගනී.. කමාන්ඩෝ භටයින්ගේ පැය ගණනක විශේෂ මෙහෙයුමක්..
උඩුදුම්බර 'පුංචි ලෝකාන්තය' නැරඹුම් මධ්‍යස්ථානයේ පිහිටි අගාධයකට වැටී මියගිය තරුණයෙකුගේ මෘතදේහය සාර්ථකව ගොඩගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා කමාන්ඩෝ භට පිරිසක් සමත් වී තිබෙනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මැණික්හින්න, ලුණුකැඩියාමඩිත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි වියේ පසුවූ තරුණයෙකු බව පොලිසිය සඳහන් කළා.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මෙම නැරඹුම් මධ්‍යස්ථානයේදී සිදු වූ අනතුර සම්බන්ධයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මධ්‍යම පළාත් කාර්යාලය වෙතින් ලද හදිසි දැනුම් දීමකට අනුව ක්‍රියාත්මක වූ යුද හමුදා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 17 දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් ඊයේ (16) දිනයේදී මෙම සෙවුම් මෙහෙයුම ආරම්භ කර තිබුණා.
එහිදී මීටර් 355ක් පමණ වන අතිශය ගැඹුරු ප්‍රපාතයකට වැටී තිබූ මෘතදේහය වෙත ඉතා දුෂ්කර කඳුකර භූමි ප්‍රදේශ හරහා ළඟා වූ කමාන්ඩෝ භට පිරිස්, විශේෂ මෙහෙයුම් ක්‍රමවේද භාවිත කරමින් සිරුර සොයා ගැනීමට කටයුතු කළා.
අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සහ පරීක්ෂණ සපූරාලීම සඳහා එම මෘතදේහය උඩුදුම්බර පොලිසිය වෙත නිල වශයෙන් භාර දෙනු ලැබුවා.