රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලවලට වූ හානියට තුර්කි ගුවන් සේවයෙන් වන්දි..
Wednesday, 16 September 2026 - 13:44 | Views - 44

ලෝක ශූර හෙල්ල විසිකිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි මුදලක් ලබාදීමට Turkish Airlines ගුවන් සේවය එකඟතාව පළ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (15) සිවිල් ගුවන් සේවා අධිකාරී පරිශ්‍රයේදී පැවැත්වුණා.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කුගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.ඩබ්ලිව්.එස්. මංගල, සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් දමින්ද රඹුක්වැල්ල සහ එහි සභාපති විශ්‍රාමික කර්නල් රංජිත් රාජසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.
එමෙන්ම Turkish Airlines ආයතනයේ නියෝජිතයින්ද සාකච්ඡාවට සහභාගී වී තිබෙනවා.
එහිදී රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටල ඇතුළු ක්‍රීඩා උපකරණවලට සිදුවූ හානිය සම්බන්ධයෙන් Turkish Airlines නියෝජිතයින් සිය කනගාටුව පළ කර ඇති අතර, එම හානිය ප්‍රතිපූර්ණය කිරීම සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ද අදාළ පාර්ශ්වයන්ගේ සම්බන්ධීකරණයෙන් සිදු කිරීමට නියමිතයි.
Share This Article