ළමා දින ජාතික සතියක් ප්‍රකාශයට.. සැප්තැම්බර් 25 සිට ඔක්තෝබර් 01 දක්වා විශේෂ වැඩසටහන් රැසක්..
Tuesday, 15 September 2026 - 16:47 | Views - 33

එළඹෙන සැප්තැම්බර් 25 වනදා සිට ඔක්තෝබර් 01 වනදා දක්වා කාලය 'ළමා දින ජාතික සතිය - 2026' ලෙස ප්‍රකාශයට පත් කිරීමට සහ ඊට සමගාමීව දිවයින පුරා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද විශේෂ යෝජනාවකට මෙලෙස අමාත්‍ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය හිමිවුණා.
දරුවන්ගේ අයිතිවාසිකම්, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳ සමාජ අවධානය ශක්තිමත් කිරීමේ ප්‍රධාන අරමුණින් සෑම වසරකම ඔක්තෝබර් 01 වනදා ශ්‍රී ලංකාව තුළ ජාතික ළමා දිනය සැමරීම සිදු කළා.
කෙසේ වෙතත්, වර්තමානයේ දරුවන් මුහුණ දෙන අභියෝග සාම්ප්‍රදායික ළමා ආරක්ෂණ ගැටලුවලින් ඔබ්බට ගොස් අන්තර්ජාලය හා ඩිජිටල් තාක්ෂණය ආශ්‍රිත අවදානම්, මානසික හා සමාජීය පීඩන, නොසලකා හැරීම් මෙන්ම විවිධ සමාජීය හා ආර්ථික අවදානම් තත්ත්වයන් දක්වා පුළුල් වී ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
එබැවින් දරුවන් පමණක් නොව දෙමාපියන්, ගුරුවරුන්, රාජ්‍ය නිලධාරීන්, සේවා සපයන්නන් සහ පොදු මහජනතාව ඇතුළු දරුවන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන සියලු පාර්ශ්වයන්ගේ ළමා අයිතිවාසිකම් හා ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් හඳුනාගෙන තිබෙනවා.
ළමා අයිතිවාසිකම් පිළිබඳ මහජන දැනුවත්භාවය ඉහළ නැංවීම, දරුවන් පිළිබඳ සමාජ සංවේදීතාව වර්ධනය කිරීම සහ ළමා ආරක්ෂාව සඳහා ප්‍රජා සහභාගීත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගනිමින් මෙවර ජාතික ළමා දින සැමරුමට සමගාමීව මෙම ජාතික සතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.
Share This Article