දේශීය නර්තන කලාවට අසමසම මෙහෙයක් කළ ගුරු මාතාවක් සමුගනී.. දයා නෙල්ලම්පිටියගේ අභාවය නිසා කලා ලෝකයම ශෝකයෙන්..
මෙරට ජ්‍යෙෂ්ඨතම සරල ගී සහ විරිදු ගායන ශිල්පිනියක මෙන්ම ප්‍රවීණ නර්තන ආචාර්යවරියක වන ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මිය අද දින අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 91 වැනි වියේ පසුවූ අතර, කළුබෝවිල පිහිටි ඇගේ නිවසේදී මෙම අභාවය සිදු වූ බව පවුලේ ආරංචි මාර්ග මගින් තහවුරු කළා.
දශක ගණනාවක් පුරා මෙරට කලා ක්ෂේත්‍රය වෙනුවෙන් අනුපමේය මෙහෙයක් ඉටුකළ දයා නෙල්ලම්පිටිය, පාසල් රැසක නර්තන ආචාර්යවරියක ලෙස සේවය කරමින් දහස් සංඛ්‍යාත සිසු දැරියන් පිරිසකට ශාස්ත්‍රීය නර්තනය දායාද කළ විශිෂ්ට ගුරුවරියක්.
විශේෂයෙන්ම උඩරට නර්තන කලාව පෝෂණය කිරීම සහ එය පරම්පරා ගණනාවකට දායාද කිරීම වෙනුවෙන් ඇය ඉටුකළ කාර්යභාරය සුවිශේෂී වනවා.
එමෙන්ම සරල ගී මෙන්ම විරිදු ගායන ක්ෂේත්‍රය තුළද තමන්ටම ආවේණික වූ මධුර හඬින් ප්‍රේක්ෂක හදවත් දිනාගැනීමට ඇය සමත් වුණා.
ප්‍රවීණ කලාශිල්පිනී දයා නෙල්ලම්පිටිය මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළඹෙන 16 වැනිදා සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතීන් වැඩිදුරටත් සඳහන් කළා.