2021 විවාහක රූ රැජින තරගයේ ආන්දෝලනාත්මක සිදුවීමේ නඩුව අවසන්.. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද දුන් තීන්දුව මෙන්න.
2021 වසරේ පැවැති ලෝක විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහණය ලැබූ පුෂ්පිකා ද සිල්වාට පැලැන්දූ කිරුළ බලහත්කාරයෙන් ගලවා ඇයට තුවාල සිදුකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවා සිටි හිටපු විවාහක ලෝක රූ රැජිනක් වූ කැරොලයින් ජූරි හා මෝස්තර නිරූපන ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව පවරා තිබු නඩුවෙන් ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (14) නියෝග කර සිටියා.
සිද්ධියට අදාළව දීර්ඝ කාලයක් තිස්සේ විභාග වූ මෙම ආන්දෝලනාත්මක නඩුවෙහි තීන්දුව අද දින ප්‍රකාශයට පත් කරමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම විශේෂ නියෝගය ලබා දී තිබෙනවා.
විත්තිකාරියන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන සියලු චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය සම්පූර්ණයෙන්ම අසමත් වී ඇති බව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.
එමෙන්ම සිද්ධියට අදාළව මේ වන විට අවාසනාවන්ත ලෙස මියගොස් සිටින මෝස්තර ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍රන් වෙනුවෙන් අධිකරණයේදී ඇයගේ ඇපකාරිය පෙනී සිටියා.
මෙම තීන්දුවත් සමඟ සමස්ත ලංකාවේම මෙන්ම ජාත්‍යන්තරයේද දැඩි කතාබහට ලක්වූ විවාහක රූ රැජින කිරුළ සම්බන්ධ අධිකරණ ක්‍රියාමාර්ගය නිල වශයෙන් නිමා වී තිබෙනවා.