සුනඛයින් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ.. ලියාපදිංචි නොකළොත් දඩ..
සෑම සුනඛයෙකුම අදාළ පළාත් පාලන ආයතනයේ වාර්ෂිකව ලියාපදිංචි කිරීම අනිවාර්ය කරමින් සුවිශේෂී පනත් කෙටුම්පතක් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් ගැසට් කර තිබෙනවා.
සුනඛයින් ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කිරීම, මෙරට සුනඛ ගහනය පාලනය කිරීම මෙන්ම වාණිජ අරමුණු සඳහා සිදුකරන සුනඛ අභිජනන කටයුතු නියාමනය කිරීම මෙම නව පනත් කෙටුම්පතේ ප්‍රධානතම අරමුණු බව වාර්තා වුණා.
ඒ අනුව සති 06කට වැඩි වයසැති සුනඛයෙකුගේ අයිතිකරු හෝ එවැනි සුනඛයෙකු සිය භාරයේ තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් එම සුනඛයා ජලභීතිකා රෝගයට එරෙහිව එන්නත් කර වාර්ෂිකව අදාළ පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කළ යුතු වනවා.
සුනඛයා එන්නත් කළ බවට සහතිකයක් නිකුත් කිරීමෙන් අනතුරුව, නියම කර ඇති ලියාපදිංචි ගාස්තුව ගෙවා එම සුනඛයා පළාත් පාලන ආයතනයේ ලියාපදිංචි කිරීමටත්, එහිදී අදාළ සුනඛයා සඳහා නිල ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීමටත් නියමිතයි.
යම් හෙයකින් සුනඛයෙකු ලියාපදිංචි කිරීමට අපොහොසත් වන පුද්ගලයෙකුට ලියාපදිංචි ගාස්තුවට අමතරව රුපියල් 2,000ක දඩ මුදලක් ගෙවීමට සිදුවන බවද පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වෙනවා.
එමෙන්ම සෑම පළාත් පාලන ආයතනයක්ම සිය බල ප්‍රදේශය තුළ සිටින අයාලේ යන සුනඛයින් අවස්ථාවෝචිත පරිදි වන්ධ්‍යාකරණයට ලක් කිරීමට පියවර ගත යුතු බවටද මෙහි යෝජනා කර තිබෙනවා.
මීට අමතරව, සුනඛ අභිජනන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයෙකු ඒ සඳහා විශේෂ බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර, එවැනි බලපත්‍රයක් නොමැති කිසිදු පුද්ගලයෙකුට සුනඛ පැටවුන් අලෙවි කිරීම සඳහා අවසර නොලැබෙන බවද අදාළ පනත් කෙටුම්පතේ වැඩිදුරටත් දැක්වෙනවා.
මෙමගින් සුනඛයින්ගේ එන්නත්කරණය, ලියාපදිංචිය, ගහනය පාලනය සහ වාණිජ අභිජනනය නියාමනය සඳහා විධිමත් නීතිමය රාමුවක් හඳුන්වාදීමට මෙම පනත් කෙටුම්පත මගින් යෝජනා කර තිබෙනවා.