හීං ගඟේ ස්නානයට ගිය සාමනේර හිමිනමක් අපවත් වෙති.. මීමුරේ ගම්මානයම මහත් ශෝකයක..
මීමුරේ, කයිකාවල ප්‍රදේශයේ දී අද (13) උදෑසන හීං ගඟේ ස්නානය කරමින් සිටි 11 හැවිරිදි සාමනේර හිමිනමක් දියේ ගිලීමෙන් අවාසනාවන්ත ලෙස අපවත් වී තිබෙනවා.
මෙලෙස අපවත් වී ඇත්තේ ගම්පහ දෙවලපොල ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරස්ථානයේ වැඩවිසූ 11 හැවිරිදි සාමනේර හිමිනමක් බව පොලිසිය නිල වශයෙන් සඳහන් කළා.
උන්වහන්සේ මීමුරේ ප්‍රදේශයේ පිහිටි නිවසක පැවැති විශේෂ දානමය පින්කමක් සඳහා වැඩම කර සිටියදී මෙලෙස නොසිතූ අවාසනාවන්ත අනතුරට මුහුණ දී තිබෙනවා.
අද උදෑසන 08.45ට පමණ පැවැත්වීමට නියමිතව තිබූ දානමය පින්කම ආරම්භ වීමට පෙර ස්නානය කිරීම සඳහා හීං ගඟට බැස ඇති අවස්ථාවේදී උන්වහන්සේ මෙලෙස හදිසියේම දියේ ගිලී අපවත් වී ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.
අපවත් වූ සාමනේර හිමිනමගේ දේහය මේ වන විට තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ තැම්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් උඩුදුම්බර පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.