ඩොලර් බිලියනයක් රටින් පන්නපු යුගය ඉවරයි.. ජනාධිපති අනුරගෙන් කහටගස්දිගිලියේදී සුවිශේෂී ප්‍රකාශයක්..
රටට අත්‍යවශ්‍යම ද්‍රව්‍ය වන ඖෂධ, කිරිපිටි, ගෑස්, තෙල් සහ පොහොර ගෙන්වීමට තිබූ ඩොලර් කෝටි 100කට එනම් ඩොලර් බිලියනයකට අධික ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස රටින් පිටකළ කළු යුගය වත්මන් රජය විසින් සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති බවත්, එම අහිමි වූ මුදල් සියල්ල නැවත මෙරටට අත්පත් කරගැනීමට කඩිනම් කටයුතු යොදමින් සිටින බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
කහටගස්දිගිලිය සතිපොළ භූමියේදී අද (13) පස්වරුවේ පැවැති දැවැන්ත ජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රුපියල් බිලියන 300කට ආසන්න මෙම දැවැන්ත මූල්‍ය වංචාවන් සිදුකළ සියලුම පිරිස් ප්‍රමාදයකින් තොරව නීතිය හමුවට පැමිණවීමට රජය පියවර ගනිමින් සිටින බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
එමෙන්ම, වත්මන් ජනතාවාදී පාලනය පෙරළා දැමීමේ උත්සාහයක නිරත වන්නේ කළු කඩකාරයන්, කුඩු ජාවාරම්කාරයන්, පාතාල සාමාජිකයන් සහ මහජන දේපළ අමු අමුවේ සොරකම් කළ දූෂිත දේශපාලනඥයන් පමණක් බවද ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සහ දේශීය වතු ක්ෂේත්‍රයේ අහිංසක ජනතාව මහන්සියෙන් උපයා දෙන ඩොලර් හොරෙන් පන්නා දැමූ සෑම පුද්ගලයෙකුටම එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියා.
තවද, සමස්ත රටවැසි ජනතාව වත්මන් ආණ්ඩුව සමඟ අත්වැල් බැඳගෙන සිටින බැවින්, මින් ඉදිරියට කිසිදු දූෂිත හොරෙකුට පාර්ලිමේන්තුවට පැමිණීමට හෝ ලංකාවේ දේශපාලන වේදිකාවේ නැවත ඉඩක් ලබා නොදෙන යහපත් සහ නීතිගරුක සමාජයක් නිර්මාණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී දැඩි ලෙස අවධාරණය කර සිටියා.