නිරෝගී අනාගත පරපුරක් උදෙසා නුවරඑළියෙන් සුවිශේෂී පියවරක්.. ඒකාබද්ධ බහුකාර්ය ළමා සංවර්ධන සහ රැකවරණ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ඇරඹෙයි..
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිරෝගී සහ සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහිකිරීමේ ප්‍රධාන අරමුණ ඇතිව ඒකාබද්ධ බහුකාර්ය ළමා සංවර්ධන සහ රැකවරණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන් අද (13) දින නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා.
අමාත්‍යවරයා අද උදෑසන නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා කාර්යාලය වෙත පැමිණ එහි ඉදිරි කටයුතු සූක්ෂම ලෙස නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව, එම කාර්යාල පරිශ්‍රයට යාබද භූමියේ මෙම අභිනව මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ බව වාර්තා වුණා.
මෙම දැවැන්ත ව්‍යාපෘතියට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ශ්‍රවණාගාරය සංවර්ධනය කිරීම සහ පුළුල් කිරීමේ කටයුතුද සිදුකිරීමට නියමිත අතර, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් 93,916,700.10ක සුවිශේෂී මුදලක් වෙන්කර තිබෙනවා.
මෙම සුවිශේෂී අවස්ථාව සඳහා අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චි, නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය මධුක පෙරේරා ඇතුළු නිලධාරීන් සහ සේවකයින් පිරිසක් එක්ව සිටිනවා.