රත්මලාන ගුවන්තොටුපළ ඉතිහාසගත වෙයි.. ශ්‍රී ලාංකික බිලියනපතියා පැමිණි සුපිරි ජෙට් යානයේ තොරතුරු මෙන්න..
මෙරට ඉතිහාසයේ ශ්‍රී ලාංකිකයකුට අයත් ප්‍රථම දිගු දුර සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය පසුගියදා රත්මලාන ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත සපැමිණියා.
ගල්ෆ්ස්ට්‍රීම් (Gulfstream) වර්ගයට අයත් මෙම අති සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානය ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ශ්‍රී ලංකාව බලා සිය ප්‍රථම ගුවන් ගමන සිදුකර තිබෙනවා.
සාමාන්‍ය මගී ගුවන් යානා පියාසර කරන උසට වඩා බෙහෙවින් ඉහළින්, එනම් මුහුදු මට්ටමේ සිට අඩි 51,000ක් පමණ උසකින් පියාසර කිරීමේ අද්විතීය හැකියාවෙන් යුත් මෙම ගුවන් යානය, දිගු දුර ගුවන් ගමන් සඳහාම විශේෂයෙන් නිර්මාණය කළ අති සුඛෝපභෝගී ව්‍යාපාරික ජෙට් යානයක් වනවා.
පැය 14කට ආසන්න කාලයක් අඛණ්ඩව පියාසර කළ හැකි මෙම යානයේ මගීන් 17 දෙනෙකුට පමණ එකවර සුවපහසු ලෙස ගමන් කළ හැකි අතර, නිදන මැදිරියක්, ආහාරපාන සඳහා වෙන් වූ භෝජනාගාර පහසුකම්, විවේක කලාප සහ අංගසම්පූර්ණ මුළුතැන්ගෙයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විතයි.
සුවපහසුව, කාර්යක්ෂමතාව සහ ආරක්ෂාව අතින් ඉහළම මට්ටමක පවතින මෙවැනි ගල්ෆ්ස්ට්‍රීම් වර්ගයේ ජෙට් යානා ලොව ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් සහ ප්‍රකට පුද්ගලයන් විසින් භාවිත කරනු ලබනවා.
ඒ අතර ලොව ධනවත්ම පුද්ගලයා වන ඉලෝන් මස්ක්, ගූගල් සමාගමේ සම-නිර්මාතෘවරුන් වන සර්ජි බ්‍රින් සහ ලැරී පේජ් මෙන්ම මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රකට ව්‍යාපාරික රූපට් මර්ඩොක් වැනි ප්‍රබල චරිතද සිටිනවා.
මෙවැනි දිගු දුර සුඛෝපභෝගී ජෙට් යානයක් පෞද්ගලික පරිහරණය සඳහා මිලදී ගත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පදිංචි, රොෂානා කෙයාර් ව්‍යාපාර ජාලයේ හිමිකරු වන ආචාර්ය රොෂ් ජලග්ගේයි.
රොෂානා කෙයාර් යනු ඔස්ට්‍රේලියාව සහ සිංගප්පූරුව කේන්ද්‍ර කරගනිමින් සෞඛ්‍ය හා සත්කාර සේවා සපයනු ලබන දැවැන්ත ව්‍යාපාර ජාලයක්.
රත්නපුර, නීලගම ප්‍රදේශයේ උපත ලබා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ආචාර්ය රොෂ් ජලග්ගේ, වසර දහයකට අධික කාලයක් බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල්වරයා ලෙසද සේවය කර තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ආර්ථික දත්ත වාර්තාවලට සහ සුප්‍රකට ෆෝබ්ස් (Forbes) සඟරාවට අනුව ඩොලර් බිලියනය ඉක්මවූ වත්කම් හිමි ඔස්ට්‍රේලියාවේ ජීවත්වන එකම ශ්‍රී ලාංකික ව්‍යවසායකයා වන්නේද ඔහුයි.
මෙම ඓතිහාසික ගුවන් ගමන සඳහා ඔහුගේ බිරිඳ වන, කොළඹ මියුසියස් විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක මෙන්ම එංගලන්තයේ බැරිස්ටර්වරියක වන ප්‍රියංකා ගමගේද එක්ව තිබෙනවා.
මෙම විශේෂ සංචාරය අතරතුර ශ්‍රී ලංකාව තුළ නව ව්‍යාපාර කිහිපයක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡා කිහිපයකට සහභාගී වූ මෙම දෙපළ පසුව රත්මලාන ගුවන්තොටුපළෙන් යළිත් පර්ත් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.
ශ්‍රී ලංකාව තුළ තමන්ගේ ව්‍යාපාර කටයුතු පුළුල් කිරීමට අමතරව, මෙම ගුවන් ගමන හරහා ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක හා ව්‍යාපාරික අවස්ථා සඳහා ආකර්ෂණීය සන්ධිස්ථානයක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරික ප්‍රජාව වෙත ඒත්තු ගැන්වීම තමන්ගේ ප්‍රධාන අරමුණක් බව ආචාර්ය රොෂ් ජලග්ගේ වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.