ආදරේ නාමයෙන් දුන් කෝටි 10, විරහවේ නාමයෙන් 'ණය' වෙලා.. පෙම්වතා නඩු ගිහින් නාගනී..
තමා පෙම්වතිය වෙනුවෙන් වියදම් කළ සිංගප්පූරු ඩොලර් 468,000ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 10කට අධික) මුදල නැවත ලබාගැනීමට ව්‍යාපාරිකයෙකු විසින් ගොනුකර තිබූ නඩුවක් සිංගප්පූරු මහාධිකරණය විසින් තීන්දු දෙමින් ඉවත දමා තිබෙනවා.
චන්දර් අගර්වාල් (Chander Agarwal) නැමැති සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් සිය හිටපු පෙම්වතිය වූ ෆෙලීෂියා ලී (Felicia Lee) නමැති හිටපු ගුවන් සේවිකාවට එරෙහිව මෙම නඩුව පවරා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
2019 වසරේ ගුවන් වාරයකදී හමුවී ඇති මොවුන් දෙදෙනා 2022 සිට 2023 දක්වා කාලය තුළ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබෙනවා.
කෙසේ වෙතත්, ඇය වෙනත් අයෙකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කිරීම හේතුවෙන් මෙම ප්‍රේම සබඳතාව බිඳවැටී ඇති අතර, ඉන් අනතුරුව තමා ඇයට මෙම මුදල් ලබාදුන්නේ "පොලී රහිත ණය" ලෙසින් බව ව්‍යාපාරිකයා විසින් 2024 මාර්තු මාසයේදී අධිකරණය හමුවට යමින් පවසා තිබෙනවා.
එම මුදලට ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, විදේශ සංචාර, ෆෙන්ෂුයි උපදේශන සහ ඇගේ ජීවිත රක්ෂණ වාරික ගෙවීම් ඇතුළත් බව ඔහු පෙන්වා දී තිබෙනවා.
එම සියලු මුදල් ආදරය සහ ආකර්ෂණය නිසා ඔහු විසින් තමාට ලබාදුන් "තෑගි" මිස ණය මුදල් නොවන බව නමුත් හිටපු පෙම්වතිය අධිකරණයේදී පවසා තිබෙනවා.
අදාළ මුදල් ණය ලෙස ලබාදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බව කරුණු සලකා බැලූ ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරු ලී සියු කින් (Lee Seiu Kin) සඳහන් කර තිබෙනවා.
පැමිණිලිකරු සබඳතාව පැවති සමයේ කැමැත්තෙන්ම මෙම තෑගි පිරිනමා ඇති බවත්, සබඳතාව අසාර්ථක වූ පසු ඇතිවූ වෛරය සහ කලකිරීම මත මෙලෙස මුදල් අයකර ගැනීමට උත්සාහ කර ඇති බවත් විනිසුරුවරයා වැඩිදුරටත් පෙන්වා දුන් බව විදෙස් වාර්තාවේ සඳහන් වුණා.
මූලාශ්‍රය - බීබීසී