සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජලය ප්‍රමාණවත්.. ජල සම්පාදන ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, ඉදිරි සැප්තැම්බර් මාසය අවසානය දක්වා දිවයිනේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල සංචිත පවතින බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කර සිටිනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.
මේ වනවිට දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පානීය ජල හිඟයක් මතුව ඇති අතර, ඉන් පවුල් 40,945ක් පීඩාවට පත්ව තිබෙනවා. එම ජනතාව වෙනුවෙන් බවුසර් මගින් සහ වෙනත් ක්‍රම ඔස්සේ ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පවත්වාගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති 352කින් මේ වනවිට වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල සහ මඩකලපුව ප්‍රදේශවල ව්‍යාපෘති දෙක පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.
විශේෂයෙන්ම මඩකලපුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන උන්නච්චි ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් පවුල් 75,000කට පමණ ලබාදෙන ජල සැපයුම පැය 24 සිට පැය 20ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මාසයේ වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කරගත හැකි බවට දැනුම්දී ඇති අතර, හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට ළිං තුනක් ඉදිකිරීමටද කටයුතු කරමින් පවතිනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශාල ජලාශවල වර්තමාන ජල ධාරිතාව සියයට 34ක් පමණ වන අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල ධාරිතාව පානීය ජල අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනවා.
එමෙන්ම මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල සාමාන්‍ය ජල ධාරිතාව සියයට 50කට වැඩි මට්ටමක පවතින අතර, අම්පාරේ සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 25ක් පමණ වුවද වර්ෂාව ලැබෙන තෙක් එම ජලයද ප්‍රමාණවත් වනු ඇති බවට අපේක්ෂා කරනවා.
කළු ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් බස්නාහිර පළාතේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 13කට පමණ මේ වනවිට කිසිදු අවදානමක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
කෙසේ වෙතත්, ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ළිං, නළ ළිං, කුඩා ජලාශ, ඇළ මාර්ග සහ කුඩා දියපාරවල් ඇතුළත් ජල මූලාශ්‍ර 1,897ක් පවතින වියළි තත්ත්වය හේතුවෙන් අවදානම් මට්ටමක පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළා.