සැප්තැම්බර් අවසානය දක්වා පානීය ජලය ප්‍රමාණවත්.. ජල සම්පාදන ඇමතිගෙන් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්..
Friday, 11 September 2026 - 19:04 | Views - 37
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ජල මූලාශ්‍ර 5,464කින් 1,897ක් අවදානම් තත්ත්වයට පත්ව තිබුණත්, ඉදිරි සැප්තැම්බර් මාසය අවසානය දක්වා දිවයිනේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමාණවත් ජල සංචිත පවතින බව ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කර සිටිනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මේ වනවිට දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 36ක පානීය ජල හිඟයක් මතුව ඇති අතර, ඉන් පවුල් 40,945ක් පීඩාවට පත්ව තිබෙනවා. එම ජනතාව වෙනුවෙන් බවුසර් මගින් සහ වෙනත් ක්‍රම ඔස්සේ ජලය ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් පවත්වාගෙන යන ජල සම්පාදන ව්‍යාපෘති 352කින් මේ වනවිට වියළි කාලගුණයෙන් බලපෑමට ලක්ව ඇත්තේ මොනරාගල සහ මඩකලපුව ප්‍රදේශවල ව්‍යාපෘති දෙක පමණක් බව ඔහු වැඩිදුරටත් පැවසුවා.

විශේෂයෙන්ම මඩකලපුවේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රධාන ජල මූලාශ්‍රය වන උන්නච්චි ජලාශයේ ජල මට්ටම පහළ යාම හේතුවෙන් පවුල් 75,000කට පමණ ලබාදෙන ජල සැපයුම පැය 24 සිට පැය 20ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් මාසයේ වර්ෂාව ලැබෙන තෙක් පවතින ජලය කළමනාකරණය කරගත හැකි බවට දැනුම්දී ඇති අතර, හදිසි තත්ත්වයකදී භාවිත කිරීමට ළිං තුනක් ඉදිකිරීමටද කටයුතු කරමින් පවතිනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විශාල ජලාශවල වර්තමාන ජල ධාරිතාව සියයට 34ක් පමණ වන අතර, කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය නිකුත් කිරීම මේ වනවිට අවසන් කර ඇති බැවින් පවතින ජල ධාරිතාව පානීය ජල අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් වනවා.

එමෙන්ම මහවැලි අධිකාරිය යටතේ පවතින ජලාශවල සාමාන්‍ය ජල ධාරිතාව සියයට 50කට වැඩි මට්ටමක පවතින අතර, අම්පාරේ සේනානායක සමුද්‍රයේ ජල ධාරිතාව සියයට 25ක් පමණ වුවද වර්ෂාව ලැබෙන තෙක් එම ජලයද ප්‍රමාණවත් වනු ඇති බවට අපේක්ෂා කරනවා.

කළු ගඟ සහ කැලණි ගඟ ආශ්‍රිත ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබීම හේතුවෙන් බස්නාහිර පළාතේ ජාතික ජල සම්පාදන මණ්ඩලයේ පාරිභෝගිකයින් ලක්ෂ 13කට පමණ මේ වනවිට කිසිදු අවදානමක් නොමැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, ප්‍රජා ජල ව්‍යාපෘති සඳහා භාවිත කරන ළිං, නළ ළිං, කුඩා ජලාශ, ඇළ මාර්ග සහ කුඩා දියපාරවල් ඇතුළත් ජල මූලාශ්‍ර 1,897ක් පවතින වියළි තත්ත්වය හේතුවෙන් අවදානම් මට්ටමක පවතින බව අමාත්‍යවරයා අවධාරණය කළා.
Share This Article
Hiru Tv Blog
මෙරට උපතේ සිට අවුරුදු 19 දක්වා වන වයස් කාණ්ඩවල...
Hiru Tv Blog
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂතම මෙන්ම සුරූපීම රංගන ශිල්පිනියක් ලෙස...
Hiru Tv Blog
කලා ලෝකයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම ආදරණීය යුවලක් තමයි රුවන් හෙට්ටිආරච්චි සහ...
Hiru Tv Blog
මේ කියන්න යන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරය කරන අපේ පුංචි තිරයේ වගේම කලා ක්ෂේත්‍රයේ...
Hiru Tv Blog
ඉදිරි වසර 10 ක කාලය තුළ කෘත්‍රිම බුද්ධිය හෙවත් AI (Artificial Intelligence) තාක්ෂණය මගින් සමස්ත...
Hiru Tv Blog
මානවරූපී රොබෝ තාක්ෂණයේ විප්ලවීය සන්ධිස්ථානයක් සලකුණු කරමින් ජැමෙයිකානු කෙටි...
Hiru Tv Blog
චීනයේ බීජිං නුවර පැවැත්වෙන 2026 ලෝක රොබෝ සම්මේලනයේදී ප්‍රදර්ශනයට තබා ඇති අති...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top