කොංගෝවේ පාසල් දෙකක හදිසි ගිනිගැනීමක්.. බේරෙන්න ගිය සිසුන් 24ක් තෙරපී අවාසනාවන්ත ලෙස මරුට..
කොංගෝ ජනරජයේ නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි බුකාවු නගරයේ පාසල් දෙකක හදිසියේ හටගත් ගිනිගැනීමක් හේතුවෙන් ඇති වූ දැවැන්ත තෙරපීමකට ලක්ව පාසල් සිසුන් 24 දෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේම පැතිර ගිය ගින්නෙන් බේරීමට සිසුන් දැඩි භීතියෙන් එකවර එළියට පැනීමට උත්සාහ කිරීමේදී මෙම දරුණු තෙරපීම සිදුව ඇති බවයි.
මෙම ඛේදවාචකයෙන් සිසුන්ට අමතරව වැඩිහිටියන් කිහිපදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති අතර, බරපතල ලෙස තුවාල ලැබූ තවත් පිරිසක් ප්‍රදේශයේ රෝහල් වෙත වහාම ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
මෙම හදිසි ගිනිගැනීම හේතුවෙන් පාසල් ගොඩනැගිලිවලට අමතරව ආසන්නයේ පිහිටි නිවාස 300කට ආසන්න සංඛ්‍යාවකටද දැඩි හානි සිදුව ඇති අතර, ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
විනාශ වූ ගොඩනැගිලි සුන්බුන් අතර තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව සිරවී සිටිය හැකි බවටද පාලනාධිකාරිය සැක පළ කරනවා.
පස්වරුව වන විට ගින්න පාලනය කිරීමට හැකි වූවත්, සම්පූර්ණයෙන්ම විනාශ වූ ගොඩනැගිලිවල සුන්බුන් අතරින් තවදුරටත් කළු දුමාරය නැගෙමින් තිබූ බව සිද්ධිය ඇසින් දුටු පුද්ගලයෙකු Reuters පුවත් සේවයට පවසා තිබෙනවා.
දකුණු කිවු පළාතේ අගනුවර වන බුකාවු නගරය කොංගෝ ජනරජයේ පිහිටි ජනාකීර්ණ කඳුකර නගරයක් වන අතර, ප්‍රසිද්ධ M23 කැරලිකරුවන් විසින් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී මෙම නගරයේ බලය අත්පත් කරගනු ලැබුවා.