සැප්තැම්බර් 11 ප්‍රහාරයට අදට වසර 25ක්.. අමෙරිකාව පුරා විශේෂ අනුස්මරණ වැඩසටහන් රැසක්..
අමෙරිකාවේ සිදුවූ ඓතිහාසික සැප්තැම්බර් 11 ත්‍රස්ත ප්‍රහාරයට වසර 25ක් සපිරීම නිමිත්තෙන් එරට පුරා අද (11) විවිධ අනුස්මරණ වැඩසටහන් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
2001 වසරේ සැප්තැම්බර් 11 වැනිදා අමෙරිකානු මගී ගුවන් යානා හතරක් පැහැරගත් ත්‍රස්තවාදීන් ඒවා නිව්යෝර්ක් සහ වොෂින්ටන්හි ප්‍රධාන ගොඩනැගිලි වෙත කඩා වැදීමට යොදාගත්තා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වූ අතර, එහි බලපෑම සමස්ත ලෝකයටම දැඩි ලෙස දැනෙන්නට වුණා.
එදින උදෑසන නැගෙනහිර අමෙරිකානු ප්‍රදේශය හරහා පියාසර කරමින් තිබූ ගුවන් යානා හතරක් කුඩා කණ්ඩායම් ලෙස පැමිණි පැහැරගැනීම්කරුවන් විසින් සිය පාලනයට ගෙන තිබුණා.
ඉන් ගුවන් යානා දෙකක් නිව්යෝර්ක් නගරයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ නිවුන් කුළුණු දෙක වෙත කඩා වැදී තිබූ අතර, පළමු ප්‍රහාරයෙන් මිනිත්තු 17කට පසු දෙවැනි ගුවන් යානය අනෙක් කුළුණේ ගැටී තිබුණා.
ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලි දෙකම ගිනිගෙන ඉහළ මහල්වල සිටි පිරිස් එහි සිරවී තිබූ අතර, පැය දෙකකටත් අඩු කාලයකදී මහල් 110කින් සමන්විත එම කුළුණු දෙකම දැවැන්ත දූවිලි වලාකුළු මැද කඩා වැටුණා.
තවත් ගුවන් යානයක් අමෙරිකානු හමුදාවේ මූලස්ථානය වන වොෂින්ටන් නගරයට ආසන්න පෙන්ටගනයේ බටහිර කොටසට කඩා වැදී විනාශයට පත් කළා.
සිව්වන ගුවන් යානය මගීන් විසින් පැහැරගැනීම්කරුවන්ට එරෙහිව සටන් කිරීමෙන් අනතුරුව පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ පිහිටි පිටියකට කඩා වැටුණා.
එම ගුවන් යානය වොෂින්ටනයේ පිහිටි අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල වන කැපිටල් ගොඩනැගිල්ල වෙත කඩා වැදීමට පැහැරගැනීම්කරුවන් සැලසුම් කර තිබූ බවට විශ්වාස කෙරෙන බව BBC පුවත් සේවය සඳහන් කළා.
මෙම ප්‍රහාරය අමෙරිකාවේ පමණක් නොව ලොව පුරා දේශපාලන, ආරක්ෂක සහ සමාජ ක්ෂේත්‍රයන්ට දැඩි බලපෑමක් එල්ල කළ ඓතිහාසික සිදුවීමක් ලෙස සැලකෙනවා.