හෙම්මාතගම දරුවන් වැරදි පාරේ ගෙනගිය "පෙති අක්කා" කොටුවෙයි.. මාවනැල්ල අධිකරණයෙන් දුන් තීන්දුව මෙන්න..
වසර ගණනාවක් තිස්සේ වෛද්‍ය බෙහෙත් වට්ටෝරු නොමැතිව මත් වීම පිණිස භාවිත කරන ඖෂධ අලෙවි කළ බව කියන, මත්පෙති ලෝලීන් අතර "පෙති අක්කා" ලෙස ප්‍රකට හෙම්මාතගම, ගම්පොල හන්දියේ පිහිටි ෆාමසියක හිමිකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළඹෙන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ හෙම්මාතගම, ගිනිහප්පිටිය ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි කාන්තාවක්.
කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ඒ.ආර්.ජේ. සූරවීර සහ හෙම්මාතගම පොලිස් ස්ථානාධිපති චමින්ද ගුණරත්නගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සමන් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී සිවිල් පුද්ගලයෙකු උපාය දූතයෙකු ලෙස යොදවා රුපියල් 500ක මුදලක් ලබා දී, බෙහෙත් වට්ටෝරුවක් නොමැතිව මත් වීම සඳහා අවභාවිත කරන වර්ගයේ මත්පෙති ලබාගන්නා අවස්ථාවේදී අදාළ කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇති පරිදි, මෙම සැකකාරිය පාසල් පිරිමි සහ ගැහැණු දරුවන්ට මෙන්ම ප්‍රදේශයේ තරුණයන්ටද වයස් භේදයකින් තොරව මෙම මත්පෙති අලෙවි කර තිබෙන බව අප වාර්තාකරු සඳහන් කළා.
තවද, මාවනැල්ල, ගම්පොල, අරණායක, හොරේවල සහ දිප්පිටිය වැනි ප්‍රදේශවලට යතුරුපැදි මගින් පුද්ගලයන් යොදවා මෙන්ම ඇතැම් අවස්ථාවල සැකකාරිය විසින්ම යතුරුපැදියෙන් ගොස් මෙම මත්පෙති ජාවාරම ජයටම කරගෙන ගොස් ඇති බවද විමර්ශනවලදී හෙළි වී තිබෙනවා.