ඉන්දියාවේ ඔඩිෂා වනාන්තරයෙන් අසාමාන්‍ය සොයාගැනීමක්.. කුඩා ඔරංඔටං පැටවුන් 5 දෙනෙකු හමුවෙයි..
ඉන්දියාවේ නැගෙනහිර ඔඩිෂා (Odisha) ප්‍රාන්තයේ පිහිටි වනාන්තරයක අතහැර දමා තිබියදී කුඩා ඔරංඔටං පැටවුන් පස්දෙනෙකු සොයාගැනීමේ අසාමාන්‍ය පුවතක් වාර්තා වනවා.
මෙම දුර්ලභ සතුන් අදාළ ස්ථානයට පැමිණියේ කෙසේදැයි යන්න සෙවීම සඳහා මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව බීබීසී පුවත් සේවය සඳහන් කළා.
මෙම තරුණ ඔරංඔටං පැටවුන් උන්ගේ ස්වාභාවික නිවහන වන නිවර්තන වැසි වනාන්තරවල සිට කිලෝමීටර් දහස් ගණනක් ඈතින් පිහිටි මෙම වනාන්තරයේ බිම එකට වාඩි වී කෙසෙල් ආහාරයට ගන්නා ආකාරය අන්තර්ජාලය ඔස්සේ බහුලව සංසරණය වන ඡායාරූප සහ වීඩියෝ දර්ශනවල දැක්වෙනවා.
ඔරංඔටං යනු කිසිසේත්ම ඉන්දියාවට ආවේණික සතෙකු නොවන අතර, දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයට ලක්ව සිටින මෙම අතිශය දුර්ලභ සතුන් වනයේදී දැකගත හැක්කේ ඉන්දුනීසියාවේ සහ මැලේසියාවේ පමණයි.
මෙම සතුන් ජාත්‍යන්තර ජාවාරම්කාර ජාලයක් මගින් නීතිවිරෝධී ලෙස රට තුළට ගෙනැවිත් මහා මාර්ගයක් අසල අතහැර දමා ඇත්ද යන්න පිළිබඳව පරීක්ෂකයන් දැඩි ලෙස අවධානය යොමු කර ඇති බව ඔඩිෂා ප්‍රාන්තයේ වන සංරක්ෂණ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රදේශවාසීන් පිරිසක් විසින් මෙම ඔරංඔටං පැටවුන් දැක වනජීවී නිලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා.
පසුව සතුන්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීමෙන් අනතුරුව, ප්‍රාන්ත අගනුවර වන භුවනේශ්වර් (Bhubaneswar) හි පිහිටි නන්දන්කානන් සත්වෝද්‍යානය (Nandankanan Zoological Park) වෙත ගෙන යන ලද අතර, එහිදී උන්ව නිරෝධායනයට ලක් කර විශේෂ නිරීක්ෂණය යටතේ තබා තිබෙනවා.
මෙම සතුන්ට ස්වාභාවිකව ඔඩිෂා වෙත පැමිණීමට කිසිසේත්ම නොහැකි අතර, උන්ව මාර්ග ප්‍රවාහනය මගින් එතැනට ගෙන එන්නට ඇති බව බාලසෝර් දිස්ත්‍රික් වනජීවී නිලධාරී ප්‍රතීක් ප්‍රකාශ් ඉන්දල්කාර් BBC වෙත පවසා තිබෙනවා.
මෙම සතුන් පස්දෙනා හමුවී ඇත්තේ බස්නාහිර බෙංගාල මායිම ආසන්නයේ පිහිටි භෝගරායි (Bhogarai) බලප්‍රදේශයේ රණකත (Ranakata) නම් යෝජිත සංරක්ෂිත වනාන්තරයෙන්.
මෙම ප්‍රදේශය ප්‍රධාන වශයෙන් කසුරිනා (මුහුදු කස) ගස්වලින් වැසී ඇති ඝන නොවන වනාන්තරයක් වන අතර, එය ප්‍රාන්ත මහා මාර්ගයට ඉතා ආසන්නව පිහිටා තිබෙනවා.
ඔඩිෂා රජය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වන ලෙස ඉන්දියානු වනජීවී අපරාධ පාලන කාර්යාංශයෙන්ද ඉල්ලීමක් කර ඇති අතර, වනාන්තරය තුළ සිදුකළ සෙවුම් මෙහෙයුම්වලදී වෙනත් ඔරංඔටං සතුන් හෝ උන් පැමිණි ආකාරය පිළිබඳ වෙනත් හෝඩුවාවක් හමුවී නැහැ.
මෙම සතුන් අවුරුදු එකත් දෙකත් අතර වයසේ පසුවන පැටවුන් වන අතර, උන්ගේ කුඩා වයස නිසා මෙම සිදුවීම වඩාත් කනගාටුදායක එකක් වන බව වනජීවී විශේෂඥ බිස්වාජිත් මොහාන්ති පෙන්වා දුන්නා.
තරුණ ඔරංඔටං පැටවුන් සාමාන්‍යයෙන් වසර ගණනාවක් තිස්සේ මව සමඟ සිටිමින් ජීවත් වීමට අවශ්‍ය කුසලතා ලබාගන්නා අතර, ගැහැණු සතුන් පැටවුන් බිහි කරන්නේද වසර අටකට වරක් පමණයි.