තේ වත්තට දිනපතා එන කඳුකර කොටියා.. ඡායාරූපයක් අරන් වතු කම්කරුවා පොලිසියට..
බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වත්තක නිරන්තරයෙන් සැරිසරන කඳුකර කොටියෙකු සම්බන්ධයෙන් බියට පත් වතු කම්කරුවෙකු විසින් බගවන්තලාව පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
තේ දලු නෙළන අතරතුර වත්තේ සැරිසරන මෙම කඳුකර කොටියා සිය ජංගම දුරකථනයෙන් ඡායාරූපගත කිරීමට අදාළ වතු කම්කරුවා සමත්ව ඇති අතර, එම ඡායාරූපයද සාක්ෂියක් ලෙස රැගෙන ඊයේ (09) බගවන්තලාව පොලිස් ස්ථානය වෙත පැමිණ මෙලෙස වාචික පැමිණිල්ලක් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කළා.
අදාළ කඳුකර කොටියා ආහාර සහ ගොදුරු සොයා දිනපතා වතු නිවාස ආසන්නයටම පැමිණෙන බවට පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වූ බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් මධුසංඛ සඳහන් කළා.
තේ වත්තේ සේවය කරන කම්කරුවන්ට මෙන්ම ප්‍රදේශයේ ජනතාවට යම් අනතුරක් සිදුවීමට ප්‍රථම මෙම තත්ත්වය පිළිබඳව වහාම වනජීවි නිලධාරීන් දැනුවත් කර, කඳුකර කොටියා වත්ත ආසන්නයේ පිහිටි බෝපත්තලාව රක්ෂිතයට ආරක්ෂිතව පලවා හැරීමට කටයුතු කරන ලෙස අදාළ කම්කරුවා පොලිසියෙන් ඉල්ලා සිටිනවා.
මේ සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවි කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.