කුළුගෙඩියෙන් ගසා පිළිස්සූ සිරුර ප්‍රපාතයකට විසි කරලා.. බව්ලානේ අභිරහස් ඝාතනයේ සුලමුල හෙළිවෙයි..
මිතුරන් තිදෙනෙකු අතර පැවැති මත්පැන් සාදයකින් පසුව මතු වූ පැරණි හිත් අමනාපකමක් මුල් කරගනිමින් කුළුගෙඩියකින් පහරදී තරුණයෙකු ඝාතනය කර, සිරුර අඩක් පුළුස්සා කැලෑබද ප්‍රපාතයකට විසිකර තිබූ අතිශය බිහිසුණු පුවතක සුලමුල අනාවරණය කර ගැනීමට තලාතුඔය පොලිසිය සමත්ව තිබෙනවා.
මෙලෙස කුරිරු ලෙස ඝාතනයට ලක්ව ඇත්තේ තලාතුඔය, බව්ලාන ප්‍රදේශයේ පදිංචිව සිටි ශාන්ත සංජය බණ්ඩාර නැමැති 30 හැවිරිදි අවිවාහක තරුණයෙක්.
කුලී වැඩ ජීවිකාව කරගත් මෙම තරුණයා නිවසේ තනිවම පදිංචිව සිට ඇති අතර, පසුගිය 04 වැනිදා රාත්‍රියේ සිට දින කිහිපයක්ම ඔහුගේ නිවසේ විදුලි බුබුළු දැල්වෙමින් තිබීම සහ ඔහු පෙනී නොසිටීම ගැන සැක සිතූ බාල සොහොයුරා තලාතුඔය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
එම පැමිණිල්ලට අනුව විමර්ශන ඇරඹූ පොලිසියට, අතුරුදහන් වූ තරුණයා පසුගිය 04 වැනිදා රාත්‍රියේ තවත් තරුණයින් දෙදෙනෙකු සමඟ බහින්බස් වෙමින් ගමන් කරන අයුරු දුටු බවට තොරතුරක් ලැබී තිබෙනවා.
ඒ ඔස්සේ ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි සැකකාර තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.
සැකකරුවෙකුගේ පියා විසින් පවත්වාගෙන ගිය නීතිවිරෝධී මත්පැන් ජාවාරමක් පොලිසියට කොටුකර දෙන ලද්දේ මියගිය ශාන්ත සංජය බවට වූ සැකය මත මෙම ඝාතනය සැලසුම් කර ඇති බව එහිදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධිය වූ දින මත්පැන් පානය කිරීමෙන් පසු ඉස්මතු වූ මෙම කෝන්තරය මත, නිවෙසට ගිය තරුණයා යළි හේන් භූමියට කැඳවාගෙන ගොස් පැලක තිබූ කුළුගෙඩියකින් හිසට පහරදී මරා දමා තිබෙනවා.
අනතුරුව සිරුර ලී කැබලි යොදා අඩක් පුළුස්සා, රෙදි කඩක ඔතා කැලෑබද ප්‍රපාතයකට විසිකර දැමූ බවට සැකකරුවන් පාපොච්ඡාරණය කර තිබෙනවා.
සැකකරුවන් පෙන්වූ ස්ථානයෙන් අඩක් පිළිස්සී නරක් වෙමින් තිබූ සිරුර සොයාගෙන ඇති අතර, මහනුවර දිසා මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මහින්ද ලියනගේ ස්ථානීය පරීක්ෂණයෙන් පසු සිරුර මහනුවර ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියෝග කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.