ගොවි ජනතාවට වැදගත් නිවේදනයක්.. 2026-27 මහ කන්නයේ වගා ඇරඹිය යුතු දින ප්‍රකාශයට පත් කෙරෙයි..
දිවයින පුරා පවතින දැඩි වියළි කාලගුණික තත්ත්වය හමුවේ කාර්යක්ෂම ලෙස ජල කළමනාකරණය කරගැනීමේ අරමුණින් 2026 - 2027 වර්ෂවලට අදාළ මහ කන්නයේ වී වගා කටයුතු ආරම්භ කළ යුතු දින සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඊට අදාළව විවිධ කෘෂිකාර්මික කලාප සඳහා වගා කටයුතු ආරම්භ කළ යුතු නිල කාලසටහනක් ඊයේ (08) අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී යෝජනා වී ඇති බව අදාළ අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.
එම යෝජිත කාලසටහනට අනුව වලව කලාපයේ වී වගා කටයුතු ඔක්තොම්බර් 01 වැනිදාත්, අල්ල කලාපයේ ඔක්තොම්බර් 15 වැනිදාත් ආරම්භ කිරීමට නියමිතයි.
මීට අමතරව කවුඩුල්ල කලාපයේ වී වගා කටයුතු නොවැම්බර් 01 වැනිදාත්, ඇළහැර කලාපයේ වී වගා කටයුතු නොවැම්බර් 10 වැනිදාත් ආරම්භ කළ යුතු බවට එම සාකච්ඡාවේදී තීරණය වී තිබෙනවා.
මෙම වගා කාලසටහනට අනුකූලව කටයුතු කිරීමෙන් ඉදිරි මහ කන්නයේදී ජල හිඟයකින් තොරව සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමට හැකිවනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය විශ්වාසය පළ කරනවා.