ඉන්දියාවේ ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව පෙරළියක්.. WhatsApp හරහා බිල්පත් ගෙවන්න දැන් ඉන්දියාවේ පුළුවන්..
Saturday, 05 September 2026 - 18:10 | Views - 28

ඉන්දීය ඩිජිටල් මුදල් හුවමාරු සහ UPI වෙළඳපොළ ඉලක්ක කරගනිමින්, ජනප්‍රිය පණිවිඩ හුවමාරු යෙදුමක් වන වට්ස්ඇප් (WhatsApp) ආයතනය විසින් සිය වේදිකාව තුළ සෘජුවම බිල්පත් ගෙවීමේ (Bill Payments) නව පහසුකමක් හඳුන්වා දී තිබෙනවා.
මෙමගින් පරිශීලකයන්ට වෙනත් යෙදුම් වෙත යෑමෙන් තොරව, යෙදුම තුළම සිට දෛනික උපයෝගීතා සහ ගෘහස්ථ බිල්පත් පහසුවෙන් පියවා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා.
මෙම නව සේවාව ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවේ 'භාරත් කනෙක්ට්' (Bharat Connect / BBPS) ජාලය සමග සම්බන්ධ වෙමින්.
ඒ හරහා විදුලිය, ජලය, ගෑස්, ෆාස්ටැග් (FASTag), රක්ෂණ ගෙවීම්, ණය කාඩ්පත් සහ ණය වාරික ගෙවීම් ඇතුළු කාණ්ඩ 30ක් යටතේ ඇති බිල්පත් සපයන්නන් 22,700කට අධික සංඛ්‍යාවක සේවාවන් වට්ස්ඇප් හරහා ලබා ගැනීමට පරිශීලකයන්ට අවස්ථාව සැලසී තිබෙනවා.
මෙම විශේෂාංගය භාවිතා කිරීම සඳහා පරිශීලකයන්ට වට්ස්ඇප් මුල් තිරයේ ඉහළ දම්වැල් හෝ රුපියල් සලකුණ (₹ icon) ස්පර්ශ කිරීමෙන් බිල්පත් අංශයට පිවිසිය හැකියි.
එහිදී පෙර ගෙවන ලද බිල්පත් ස්වයංක්‍රීයව සුරැකීම, එකම සපයන්නා යටතේ නිවසට, කාර්යාලයට සහ පවුලේ අයට අදාළ බිල්පත් බහු ගිණුම් හරහා කළමනාකරණය කිරීම මෙන්ම, UPI, ඩෙබිට් හෝ ක්‍රෙඩිට් කාඩ් මඟින් මුදල් ගෙවීමේ පහසුකම සපයා තිබෙනවා.
පණිවිඩයක් යැවීම තරම්ම පහසුවෙන් ගෘහස්ථ බිල්පත් ගෙවීම් කටයුතු ද ඉන්දීය ජනතාවට සමීප කිරීම මෙමගින් අපේක්ෂා කරන බව මෙටා ඉන්දියා (Meta India) ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ එරට ප්‍රධානී අරුන් ශ්‍රීනිවාස් සඳහන් කර තිබෙනවා.
ඉදිරි සති කිහිපය තුළ ඇන්ඩ්‍රොයිඩ් (Android) සහ අයි.ඕ.එස්. (iOS) යන මෙහෙයුම් පද්ධති භාවිතා කරන්නන් සියලු දෙනා වෙත මෙම නව පහසුකම ක්‍රමයෙන් පුළුල් කිරීමට නියමිතයි.
Share This Article