සෝමාවතිය රක්ෂිතයේ සිදුවූ අභිරහස් අතුරුදන්වීම.. වන අලි මැද රාත්‍රිය ගසක් යට ගත කළ තරුණියගේ කතාව..
සෝමාවතිය චෛත්‍ය මාර්ගයේ පිහිටි සුංගාවිල රක්ෂිතයේදී අතුරුදන්ව සිටි 19 හැවිරිදි තරුණියක් දින දෙකකට පසු කිසිදු හානියක් නොමැතිව නිරුපද්‍රිතව සොයාගැනීමට පුලස්තිගම පොලිසිය, වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් සමත්ව තිබෙනවා.
වැලිකන්ද, මොනරතැන්න ප්‍රදේශයේ පදිංචි මෙම තරුණිය පසුගිය 2 වනදා හිතවතෙකු සමඟ යතුරුපැදියකින් පැමිණ සුංගාවිල රක්ෂිතය ආසන්නයේදී යතුරුපැදිය නවතා කැලෑවට ඇතුළු වී ඇති අතර, එහිදී දෙදෙනා වෙන්වීම නිසා ඇය අතරමං වී තිබෙනවා.
රක්ෂිතය අසල හිමිකරුවෙකු නැති යතුරුපැදියක් තිබෙන බවට ලැබුණු තොරතුරක් මත පොලිසිය ප්‍රථමයෙන් අදාළ තරුණයා අත්අඩංගුවට ගත් අතර, පසුව පොලිස් හා වනජීවී නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් 125 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් දැවැන්ත සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබුණා.
කැලෑවේ වන අලි සැරිසැරුවද රාත්‍රී කාලයේ ගසක් යට රැඳී සිටිමින් තමන් සතුව තිබූ ජල බෝතලයේ ජලය පානය කරමින් කැලෑවෙන් පිටතට පැමිණි බව මෙහෙයුම අතරතුර තඹාල වැව ආසන්නයේ සිටියදී සොයාගත් තරුණිය ප්‍රකාශ කර තිබෙනවා.
දෙමාපියන් වෙත භාරදීමෙන් පසු වැඩිදුර පරික්ෂා සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ මෙම තරුණිය සමඟ කැලෑවට ගිය තරුණයා පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුලස්තිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.