කතරගම පොලිස් වසමෙන් වාර්තා වූ අවාසනාවන්ත සිදුවීම.. බුත්තල පාරේ බස් රථයකට වන අලි ප්‍රහාරයක්..
කතරගම පොලිස් වසමට අයත් කතරගම-බුත්තල ප්‍රධාන මාර්ගයේ විදුලි වැට මුරපොල ආසන්නයේදී අද (03) දහවල් 11:00 ට පමණ වන අලියෙකු පහරදීමෙන් පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් බරපතල අනතුරක් සිදු වී තිබෙනවා.
හලාවත ප්‍රදේශයේ සිට කතරගම වන්දනාමාන කටයුතු සඳහා පැමිණ නැවත නිවාස බලා බුත්තල දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයකට මෙලෙස හදිසියේම වන අලියා විසින් ප්‍රහාර එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
වන අලියාගේ පහරදීමත් සමඟම පාලනය කරගත නොහැකි වූ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි වන්දනාකරුවන් ඇතුළු මගීන් 40 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.
අනතුරෙන් තුවාල ලැබූ මගීන් 10 දෙනෙකු පමණ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතු වී ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා. රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් කතරගම පොලිසිය මඟින් වැඩිදුර පරීක්ෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා.