ශ්‍රී ලාංකේය සජීවකරණ සිනමාවේ පුරෝගාමියා නික්ම යයි.. ජ්‍යෙෂ්ඨ කලාකරු ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වෙයි..
Thursday, 03 September 2026 - 14:19 | Views - 48

ශ්‍රී ලාංකේය සිනමාව සහ චිත්‍රකලා ක්ෂේත්‍රය අලුත් මගකට යොමුකළ අසමසම නිර්මාණකරුවෙකු මෙන්ම මෙරට ප්‍රථම සජීවකරණ (Animation) චිත්‍රපටයේ නිර්මාතෘවරයා වන ප්‍රවීණ කලාකරු ගිවන්ත අර්ථසාද් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් අසනීප තත්ත්වයෙන් පසුවූ ඒ මහතා පානදුර මූලික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වන විට 73 වන වියෙහි පසුවුණා.
ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ සොහොයුරෙකු වන ඔහු, ජනප්‍රිය රංගන ශිල්පිනියන් වන දිනක්ෂි, ශේෂද්‍රි සහ ශනුද්‍රි ප්‍රියසාද්ගේ ආදරණීය ලොකු තාත්තා ද වනවා.
ගිවන්ත අර්ථසාද් යනු හුදෙක් කාටූන් ශිල්පියෙකු පමණක් නොව, මෙරට සිනමා තාක්ෂණයේ දැවැන්ත පෙරළියක් කළ තාක්ෂණික ශිල්පියෙක්.
ඔහුගේ පළමු ඇනිමේෂන් කෙටි චිත්‍රපටය ලෙස 1971 වසරේදී 'අන්දරේ' නිර්මාණය කරමින් ශ්‍රී ලාංකේය සජීවකරණ සිනමා වංශයේ ආරම්භය සටහන් කළා.
අනතුරුව 1979 වසරේදී 'දුටුගැමුණු' චිත්‍රපටය නිර්මාණය කරමින් මෙරට පළමු පූර්ණ සජීවකරණ (Feature Film) චිත්‍රපටය ලෙස දුටුගැමුණු නිරූපිත සජීවකරණ කතාව සිනමාහල් වෙත ගෙන ඒමට ඔහු සමත් වුණා.
අතිශය දුෂ්කර වටපිටාවක තාක්ෂණික උපකරණ පවා තමා විසින්ම නිපදවාගනිමින් හෙළ සිනමාවට සජීවකරණය හඳුන්වා දුන් මෙම අසහාය කලාකරුවාගේ නික්මයාම ශ්‍රී ලාංකේය සිනමා වංශයට සහ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි මහඟු පාඩුවක්.
Share This Article