කලා ලොව තවත් පහනක් නිවී යයි.. ප්‍රවීණ ගායක සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද බොරැල්ලේදී..
අභාවප්‍රාප්ත වූ මෙරට ප්‍රවීණ ගායන සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරාගේ අවසන් කටයුතු අද (03) පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට සියලු කටයුතු යොදා තිබෙනවා.
ඔහුගේ දේහය මේ වන විට මහජන ගෞරවය සඳහා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇති අතර, ඊයේ දිනයේ සිටම කලාකරුවන්, ප්‍රමුඛ පෙළේ නිලධාරීන් මෙන්ම විශාල රසික පිරිසක් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එම ස්ථානය වෙත පැමිණෙමින් සිටිනවා.
කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ප්‍රියංකර පෙරේරා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා රාත්‍රියේ අවාසනාවන්ත ලෙස අභාවප්‍රාප්ත වන විට 64 වන වියෙහි පසුවුණා.
නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරා මහතාගේ පුත්‍රයා වන ප්‍රියංකර පෙරේරා, මෙරට 80-90 දශකවල කැසට් යුගයේ මෙන්ම ප්‍රසාංගික වේදිකාවේ ද අතිශය ජනප්‍රියත්වයට පත් වූ සදාතනික ගීත රැසක් ශ්‍රී ලාංකේය රසිකයන් වෙත දායාද කළ අසමසම කලාකරුවෙක්.