කාන්තා T20 ඉනිමක ලොව 5 වැනි හොඳම පන්දු යැවීම චමරිගෙන්.. ලකුණු 5කට කඩුලු 7ක් බිඳහෙලයි..
ඩුබායි හි පැවැත්වෙන කාන්තා පන්දුවාර 20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවන තරගයෙන් ඉන්දුනීසියානු කණ්ඩායම ලකුණු 75කින් පරාජයට පත් කරමින් විශිෂ්ට ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (02) සමත් වුණා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 124ක් ලබා ගැනීමට සමත් වුණා.
අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දුනීසියානු කණ්ඩායම, ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුගේ අතිවිශිෂ්ට පන්දු යැවීම හමුවේ පන්දුවාර 18යි පන්දු 3ක් තුළ ලකුණු 43කට සම්පූර්ණයෙන්ම සීමා වුණා.
සිය ජාත්‍යන්තර T20 විස්සයි-විස්ස ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ චමරි අතපත්තු, ලකුණු 5කට කඩුලු 7ක් බිඳහෙලමින් වික්‍රමාන්විත පන්දු යැවීමක නිරත වුණා.
මෙය ජාත්‍යන්තර කාන්තා T20 ඉනිමක ලොව 5 වන හොඳම පන්දු යැවීම ලෙස ඉතිහාසයට එක්වන අතර, විස්සයි-විස්ස ජාත්‍යන්තර තරගයකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක දැක්වූ හොඳම පන්දු යැවීමේ සර්වකාලීන වාර්තාව ලෙස ද සටහන් වනවා.
මේ අතර, මෙවර අයි.සී.සී (ICC) ශූරියන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ඉන්දියාව වෙත පිරිනැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.
මෙම තරගාවලියේ සත්කාරකත්වය මුලින් ශ්‍රී ලංකාවට හිමිව තිබුණ ද, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දැනට සිදුවෙමින් පවතින පරිපාලනමය හා ව්‍යවස්ථාපිත ප්‍රතිසංස්කරණ හේතුවෙන් තරගාවලිය ඉන්දියාවේ පැවැත්වීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මෙලෙස පියවර ගෙන තිබෙනවා.