අද සිට කාලගුණයේ වෙනසක්.. ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්..
අද (03) සිට ඉදිරි දින කිහිපය ඇතුළත දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.
එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඇතුළුව පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවල ද පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි හටගත හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර, දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතිනවා.
ඒ අනුව අද දින දහවල් 12:09ට මාදම්පේ, තෝරයාය, තොටගමුව, රත්තොට සහ කලවංචිකුඩි යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව ද වාර්තා වනවා.