කැසට් යුගයේ අමරණීය ගී හඬ සදාතනිකව නිහඬ වෙයි.. ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වෙයි..
Wednesday, 02 September 2026 - 14:02 | Views - 38

මෙරට සංගීත ක්ෂේත්‍රය මෙන්ම කලා ලෝකයම අතිශය ශෝකයට පත් කරමින් ප්‍රවීණ ගායන ශිල්පී සහ රංගන ශිල්පී ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
කලක් රෝගී තත්ත්වයෙන් පසුවූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (01) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වන වියෙහි පසුවුණා.
ප්‍රියංකර පෙරේරා මහතා යනු මෙරට සංගීත වංශයේ අමරණීය නාමයක් සටහන් කළ නැසීගිය ප්‍රවීණ ගායන ශිල්පී මිල්ටන් පෙරේරාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර, ජනප්‍රිය ගායන ශිල්පී චලක චමුපතිගේ සහෝදරයා ද වනවා.
විශේෂයෙන්ම මෙරට සංගීත ක්ෂේත්‍රයේ කැසට් යුගය තුළ මෙන්ම 80 සහ 90 දශකයන්හි අතිශය ජනප්‍රියත්වයට පත් වූ ඔහු, සිය පිය උරුමයෙන් ලද සහජ ගායන හැකියාවෙන් සහ අනන්‍ය මියුරු හඬින් ගීත රැසක් රසික හදවත් වෙත දායාද කළා.
ඔහු ගායනා කළ 'රන් පොකුණෙන් දිය නාගෙන එන්නේ', 'සිහින දෙව්දුවේ', 'පිස්සු විකාරේ', 'අගාධ සාගරයේ', 'සමාන වී ඉපදී දිවි තලාවේ' සහ 'පෙර ආත්මයක එක රාත්‍රියක' වැනි ගීත අදටත් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර නොමැකෙන මතකයන් ලෙස පවතිනවා.
ඔහුගේ දේහය අද (02) දින කොළඹ පෞද්ගලික මල්ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කිරීමට නියමිත අතර, අවසන් කටයුතු සිදුකරන ආකාරය පසුව දැනුම් දෙන බව ඔහුගේ ආදරණීය බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිනී දිල්හානි ඒකනායක සඳහන් කළා.
Share This Article