GIT විභාගයට ඉල්ලුම් කළත් සිසුන් නෑ.. රුපියල් කෝටි 9ක රාජ්‍ය මුදල් අපතේ යයි..
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයට අදාළ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගයට අයැදුම්පත් ඉදිරිපත් කළද, සිසුන් සැලකිය යුතු පිරිසක් විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රුපියල් කෝටි නවයකට අධික රාජ්‍ය මුදලක් අපතේ ගොස් ඇති බව අනාවරණය වනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද 2025 වර්ෂයට අදාළ වාර්ෂික කාර්ය සාධන වාර්තාවේයි මෙම තොරතුරු සටහන්ව තිබෙනවා.
එම වාර්තාවට අනුව, 2019 සිට 2024 දක්වා වසර හයක කාලසීමාව තුළ අවස්ථා තුනකදී සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය පවත්වා තිබෙනවා.
කෙසේ වෙතත්, උසස් පෙළ විභාගයට පෙනී සිටි සමස්ත සිසුන්ගෙන් සියයට 36ක්ම මෙම GIT විභාගයට අයැදුම් කර පවා නැහැ.
වඩාත්ම කනගාටුදායක තත්ත්වය වන්නේ, විභාගයට ඉල්ලුම් කළ සිසුන් අතුරින් සියයට 42ක පිරිසක් විභාග ශාලා වෙත නොපැමිණීමයි.
මෙම විභාගය පැවැත්වීම වෙනුවෙන් රුපියල් මිලියන 507ක මුදලක් වැය කර තිබුණද, ඉන් අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බව අදාළ වාර්තාවෙන් පෙන්වා දුන්නා.
ඇගයීම් වියදම් හැර විභාගය පැවැත්වූ අවස්ථා තුනේදී එක් සිසුවෙකු වෙනුවෙන් වූ විභාග වියදම රුපියල් 21.65ක් වී ඇති අතර, අයැදුම් කර විභාගයට නොපැමිණි සිසුන් 3,77,816 දෙනා වෙනුවෙන් රුපියල් කෝටි 9.1ක මුදලක් නිෂ්කාර්යව වැය වී ඇති බව විභාග දෙපාර්තමේන්තු වාර්තා වැඩිදුරටත් තහවුරු කළා.