කොළඹ දිස්ත්‍රික් අධිකරණ ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටෙයි.. අද සියලු අධිකරණ කටයුතු අත්හිටුවයි..
කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රයේ පිහිටි ගොඩනැගිල්ලක කොටසක් ඉකුත් 29 වනදා රාත්‍රියේ හදිසියේ කඩා වැටීමට ලක්ව තිබෙනවා.
මේ හේතුවෙන් නිර්මාණය වී ඇති දැඩි අවදානම් සහගත තත්ත්වය සලකා බලමින් අද (31) දිනයේ කොළඹ දිස්ත්‍රික් අධිකරණ පරිශ්‍රය වෙත වාහන ඇතුළු කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව කොළඹ නීතිඥ සංගමයේ ලේකම් ලහිරු වෙල්ගම සඳහන් කළා.
එමෙන්ම, පවතින තත්ත්වය මත අද දිනයේ පවත්වීමට නියමිතව තිබූ කිසිදු අධිකරණ කටයුත්තක් ක්‍රියාත්මක නොවන බව වැඩිදුරටත් දැනුම් දී සිටියා.
අදාළ ගොඩනැගිල්ලේ ව්‍යුහය තවදුරටත් අස්ථාවර වීමේ දැඩි අවදානමක් පවතින බැවින් කිසිදු හේතුවක් මත එම ගොඩනැගිල්ල තුළට ඇතුළු නොවන ලෙස නීතිඥවරුන් ඇතුළු මහජනතාවගෙන් කොළඹ නීතිඥ සංගමය ඉල්ලා සිටිනවා.
මෙම හදිසි තත්ත්වය හමුවේ අද දිනට විභාග කිරීමට නියමිතව තිබූ සියලුම නඩු 2026 සැප්තැම්බර් මස 30 වනදා දක්වා කල් තැබීමට පියවර ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, වාරණ නියෝග දීර්ඝ කර ගැනීමට අවශ්‍යතාවයක් පවතින පාර්ශ්වයන්ට ඒ සඳහා වන ඉල්ලීම් අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා වෙත ඉදිරිපත් කර අදාළ කටයුතු කර ගැනීමේ හැකියාව පවතින බව ද නිවේදනය කර සිටිනවා.
ගොඩනැගිල්ලේ ඉදිරි සංවර්ධන කටයුතු මෙන්ම අධිකරණ කටයුතු යළි සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන ආකාරය පිළිබඳ ඉදිරි පියවර විනිසුරුවරුන් විසින් පසුව දැනුම් දෙනු ඇති බව කොළඹ නීතිඥ සංගමය වැඩිදුරටත් සඳහන් කළා.