සේරුවිල සෑ රදුන් අබියසදී මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව.. පාරම්පරික චාරිත්‍ර අභිමානවත් ලෙස පැවැත්වෙයි..
ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහරට සමගාමීව නැගෙනහිර වෙරළ තීරයේ වාසය කරන මුහුදු ආදිවාසී ජනතාවගේ වාර්ෂික මීපැණි පූජාව ඊයේ (29) උදෑසන සේරුවිල සෑ රදුන් අබියසදී ඉතා අභිමානවත් ලෙස පවත්වා තිබෙනවා.
දමිළ භාෂාව භාවිත කරන මුහුදු ආදිවාසී නායක නඩරාජා කනගරත්නම් ඇතුළු පිරිස විසින් ගෞරවයෙන් රැගෙන ආ මීපැණි කලය, සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව භාරදීම මෙහිදී සිදු කෙරුණා.
අනතුරුව මංගල මහා සෑය වටා ප්‍රදක්ෂිණා කර වන්දනා කිරීමෙන් පසුව මෙම පාරම්පරික මීපැණි පූජාව සිදු කර තිබෙනවා.
මුහුදු ආදිවාසී ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි මෙම පූජා කටයුතු සිංහල සහ දමිළ යන භාෂා දෙකෙන්ම පැවැත්වීමට සේරුවිල නාහිමිපාණන් වහන්සේ කටයුතු යොදා තිබීම විශේෂත්වයක්.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරගේ උපදෙස් මත නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම අවස්ථාවේ සම්බන්ධීකරණ කටයුතු සිදු කර තිබුණා.
පින්කම අවසානයේ සේරුවිල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මුහුදු ආදිවාසී ජනතාවට පිරිත් නූල් ලබාදී සෙත් පතා ආශීර්වාද කර සිටියා.
වෙරුගල් සහ මූතූර් ඇතුළු ප්‍රදේශවල ගම්මාන 27ක් පුරා ව්‍යාප්තව සිටින මෙම ජනතාව, සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයේදී ඔවුන්ගේ පාරම්පරික නර්තන ඉදිරිපත් කිරීමටද නියමිතයි.
විවිධ සමාජ හා භාෂාමය හේතු මත සමාජයෙන් යම් දුරස්ථභාවයකට පත්ව සිටින මෙම ජන කොට්ඨාසය වෙනුවෙන් සේරුවිල නාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන් මැදිහත් වෙමින් ඔවුන්ගේ ගැටලු විසඳීමටත් අවශ්‍ය සහාය ලබාදීමටත් කටයුතු කරනු ලබනවා.