ජීවිකාව ගෙවන්න ගිය දෙදරු පියාට අත්වූ අවාසනාවන්ත ඉරණම.. බෙල්ලන්විල වැවේ පාවෙමින් තිබියදී සිරුර හමුවෙයි..
තම දෛනික ජීවිකාව ගෙවීම සඳහා නෙළුම් මල් කැඩීමට ගොස් කිඹුල් ප්‍රහාරයකට ලක්ව අතුරුදන්ව සිටි පුද්ගලයාගේ මළ සිරුර බෙල්ලන්විල වැව ආසන්නයේ පිහිටි අතුරු ඇළ මාර්ගයක පාවෙමින් තිබියදී අද (29) දහවල් සොයාගත් බව බොරලැස්ගමුව පොලිසිය පවසනවා.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හොරණ කණන්විල ප්‍රදේශයේ පදිංචිව සිටි මදුර ජිනේන්ද්‍ර නමැති 44 හැවිරිදි දෙදරු පියෙක්.
මියගිය පුද්ගලයා බෙල්ලන්විල සහ බෙල්ලන්තර ප්‍රදේශවල නිරතුරුවම ගැවසෙමින් මල් කඩා ජීවිකාව ගෙනයන අයෙකු වන අතර, පෙරේදා (27) දින නෙළුම් මල් කැඩීම සඳහා බෙල්ලන්විල වැව ආසන්නයේ අතුරු ඇළ මාර්ගයකට බැස ඇති බව පොලිසිය සඳහන් කරනවා.
එලෙස බැස මඳ වේලාවකින් ඔහු අතුරුදන් වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් පොලිසියට කරන ලද දැනුම්දීමක් මත එදින පුළුල් සෙවීම් සිදුකළද කිසිදු තොරතුරක් දැනගැනීමට හැකි වී තිබුණේ නැහැ.
කෙසේ වෙතත්, අද (29) දහවල් අදාළ ස්ථානයට මීටර් 100ක් පමණ ඈතින් පිහිටි ඇළ මාර්ගයේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට ලද තොරතුරක් මත පොලිසිය විසින් මළ සිරුර ගොඩගනු ලැබුවා.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකරනු ලබනවා.