හොරණ - කොළඹ මාර්ගයේ හදිසි අනතුරක්.. පැණි බීම කන්ටේනර් රථයක් ගෝනපොලදී මාර්ගය මැද පෙරළෙයි.
හොරණ - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගෝනපොල හන්දිය ආසන්නයේදී අද (29) අලුයම 1.00ට පමණ පැණි බීම තොගයක් පටවාගත් කන්ටේනර් රථයක් පෙරළී යාමෙන් මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව මොරගහහේන පොලිසිය සඳහන් කරනවා.
හොරණ කර්මාන්තපුරයේ පිහිටි පැණි බීම නිෂ්පාදනාගාරයක සිට කොළඹ වරාය දක්වා එම බීම තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ගෝනපොල හන්දිය පසුකර ඉදිරියට ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසනවා.
කන්ටේනර් රථයේ රියදුරු අනතුර සිදුවූ ස්ථානයේ වූ වංගුව ගැනීමට යාමේදී රථය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන තිබෙනවා.
එහිදී මාර්ගය මැද අලංකාරයට තබා තිබූ මල් පෝච්චි 3කටද හානි සිදු කරමින් රථය මාර්ගය මැද පෙරළී ගොස් තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී කන්ටේනර් රථය තුළ සිට ඇත්තේ රියදුරු පමණක් බව පොලිසිය සඳහන් කළා.
ශේෂයෙන්ම මොරගහහේන පොලිස් වසමේ අංක 120 මාර්ගයේ පැය 6ක් වැනි කෙටි කාලයක් තුළ සිදුවූ දෙවන කන්ටේනර් රථ අනතුර මෙය වීමද විශේෂත්වයක්. සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.