බහින්බස්වීම් සහ පැරණි අමනාපකම් දුරදිග යයි.. තංගල්ලේ සහ ගාල්ලේදී තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි..
ඊයේ (28) රාත්‍රී කාලයේදී තංගල්ල සහ ගාල්ල යන ප්‍රදේශවල සිදුවූ වෙන් වෙන් පහරදීම් සහ ගැටුම් දෙකකින් තරුණයින් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි මහගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු සහ ඔහුගේ සහෝදරයෙකු අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට සම්බන්ධ 28 හැවිරිදි සැකකරු තංගල්ල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, ඊයේ රාත්‍රී කාලයේදීම ගාල්ල පොලිස් වසමේ ගල්වල ප්‍රදේශයේදී පැරණි අමනාපකමක් මත දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් තිබෙනවා.
එහිදී තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි ගාල්ල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු ගාල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු ගාල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර, සිද්ධියට සම්බන්ධ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි 19 සහ 29 වයස්වල පසුවන සැකකරුවන් දෙදෙනෙකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.