ව්‍යසනයෙන් පීඩාවට පත් නේපාලයට ශ්‍රී ලංකාවේ සහෝදරත්වයේ හස්තය.. ඩොලර් මිලියනයක හදිසි මානුෂීය ආධාර ලබාදෙයි..
දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මහත් විනාශයකට පත්ව සිටින නේපාලයේ සහන සේවාවන් සක්‍රීය කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියනයක (US$ 1 Million) මූල්‍ය ආධාරයක් ලබාදීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබෙනවා.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ විශේෂ උපදෙස් පරිදි මෙම මුදල නේපාලය වෙත ලබාදීමට කටයුතු යොදා ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
මෙම ස්වාභාවික ව්‍යසනය හේතුවෙන් ජීවිත අහිමි වූ සහ විපතට පත් ජනතාව වෙනුවෙන් සිය කනගාටුව පළ කර සිටින ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් නේපාල රජයට මෙන්ම මියගිය අයගේ ඥාතීන් වෙත සිය ශෝකය ප්‍රකාශ කර සිටිනවා.
ශ්‍රී ලංකාව සහ නේපාලය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සහ සහෝදරත්වය සිහිපත් කළ ජනාධිපතිවරයා, මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ශ්‍රී ලංකාව සැමවිටම නේපාලය සමඟ පෙනී සිටින බව වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
මෙම මූල්‍ය පරිත්‍යාගය ගංවතුරින් සහ නායයෑම්වලින් පීඩාවට පත් ජනතාවගේ හදිසි මානුෂීය සහ සහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතයි.
මේ අතර, විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්ද නේපාල විදේශ අමාත්‍ය ශිෂීර් ඛනාල් (Shisir Khanal) සමඟ දුරකථනයෙන් සම්බන්ධ වෙමින් ශ්‍රී ලංකාවේ ශෝකය සහ සහයෝගය පළ කර තිබෙනවා.
නේපාලයේ සහන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා තවදුරටත් සහය දැක්විය හැකි ක්‍රමවේද පිළිබඳව නේපාල රජය සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.