නිහඬ සතෙකුගේ වේදනාව නිසා සමාජ මාධ්‍ය කැළඹෙයි.. පෝනියෙකුට පහරදුන් තරුණයා පොලිස් අත්අඩංගුවට..
නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් යොදා ගන්නා පෝනියෙකුට තරුණයෙකු විසින් අමානුෂික ලෙස පහරදෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමත් සමඟ, එම සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව අදාළ පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වූ, නුවරඑළිය ස්ට්‍රාබැත්ත ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි රාමමූර්ති විෂ්ණු නමැති තරුණයා නුවරඑළිය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංචාරක කර්මාන්තයට යොදා ගන්නා සතුන්ට කිසිදු අයුරකින් හිංසා නොවන බවට බලධාරීන් වහාම තහවුරු කළ යුතු බව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ග්‍රෙගරි වැව ආශ්‍රිතව සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයන් පෙන්වා දුන්නා.
එමෙන්ම, බලපත්‍ර යටතේ නීත්‍යානුකූලව මෙම සේවාව සපයන පෝනි පදවන්නන් ද මෙම සිදුවීමට දැඩි විරෝධය පළ කර සිටියා.
එක් පුද්ගලයෙකුගේ හිංසාකාරී ක්‍රියාවක් හේතුවෙන් මුළු පෝනි පදවන්නන්ගේම වෘත්තීය ප්‍රතිරූපයට හානි සිදුවීම අසාධාරණ බව පවසන ඔවුන්, බලපත්‍රලාභී සියලු පදවන්නන් සඳහා සතුන්ගේ සෞඛ්‍යය, ආහාර, විවේක කාලය සහ සේවා තත්ත්වයන් නියාමනය කෙරෙන පැහැදිලි ප්‍රමිතියක් වහාම සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.