දහස් සංඛ්‍යාත උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයේ පිහිටුවමින්.. නිකිණි පෝදා හිරු සීල පාරමිතා වැඩසටහන සෝමාවතී රාජමහා විහාරස්ථානයේදී..
උතුම් නිකිණි පුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන "හිරු සීල පාරමිතා" වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මේ වනවිට ක්‍රියාත්මක වෙනවා.
සෝමාවතී රාජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ මෙහෙයවීමෙන් උවැසි උවැසියන් අෂ්ඨාංග ශීලයෙහි සමාදන් කරවමින් මෙවර හිරු සීල පාරමිතා පින්කම් මාලාව උදෑසන ආරම්භ කෙරුණා.
දිනය පුරා පැවැත්වෙන ආගමික වැඩසටහන් පෙළගැස්මට අනුව උදෑසන 7.30 ට පෝදා විශේෂ ධර්ම දේශනය පූජ්‍ය වැලිවිට සෝරත හිමියන් විසින් සිදු කළා.
එමෙන්ම පූජ්‍ය විහාරගම සිරිනන්ද හිමියන්ගේ සහ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන "අමා සිසිල" ධර්ම සාකච්ඡාව පෙරවරු 08.30 ට ආරම්භ වුණා.
පෙරවරු 11.00 ට කාව්‍ය විශාරද පූජ්‍ය මාතලේ සුමංගල හිමියන් විසින් කාව්‍යමය ධර්ම දේශනාව පවත්වනු ලබන අතර, පස්වරු 3.30 ට පූජ්‍ය මැදිරිගිරියේ සිද්ධාර්ථ හිමියන්ගේ සහභාගීත්වයෙන් "සිත්පහන් මලුව" ධර්ම කථිකාව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
සෝමාවතී පූජා භූමියට රැස්ව සිටින දහස් සංඛ්‍යාත බෞද්ධ පින්වතුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආගමික වැඩසටහන් මාලාව සාර්ථකව සිදුකෙරෙනවා.