ශාසනික ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථාන රැසක් සනිටුහන් වන දිනය.. උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි..
ලෝකවාසී සමස්ත බෞද්ධ ජනතාව අතිශය ගෞරවයෙන් සමරනු ලබන උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය දිනය අදට (27) යෙදී තිබෙනවා.
ශාසන ඉතිහාසයේ අතිශය වැදගත් සහ සුවිශේෂී සිදුවීම් කිහිපයක් සනිටුහන් වීම හේතුවෙන් නිකිණි පුර පසළොස්වක පොහෝදිනය බෞද්ධයන්ට මහත් අභිමානවත් දිනයක් ලෙස සැලකෙනවා.
ඇසළ පුර පසළොස්වක පෝ දිනට පෙරවස් සමාදන් වීමට නොහැකි වූ භික්ෂූන් වහන්සේලා උදෙසා පසුවස් සමාදන් වීම සඳහා අවස්ථාව හිමිවන්නේ මෙම නිකිණි පුර පසළොස්වක පොහොය දිනයේදී වීම එහි ඇති ප්‍රධාන ශාසනික වැදගත්කමක්.
එමෙන්ම, බුදුරජාණන් වහන්සේගේ මහා පරිනිර්වාණයෙන් මාස තුනකට පසුව, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහනුවර වේහාර පර්වතයේ සත්තපණ්ණි ගුහා ද්වාරයේදී ප්‍රථම ධර්ම සංගායනාව ආරම්භ කිරීම සිදුවූයේද අද වැනි පොහෝ දිනයකයි.
බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන අග්‍ර උපස්ථායක තෙරුන් වහන්සේ වූ ආනන්ද හිමියන් ප්‍රථම ධර්ම සංගායනාවට පෙර දින රාත්‍රියේ අරහත් ඵලයට පත්වීමද මෙම උතුම් පෝය දින හා බැඳුණු තවත් සුවිශේෂී සිදුවීමක්.
මෙවන් අසිරිමත් ශාසනික සිදුවීම් රැසක් සිහිපත් කරමින් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරස්ථාන කේන්ද්‍ර කරගනිමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ පින්කම් සංවිධානය කර තිබෙනවා.