ග්ලැසියර දියවීමෙන් හටගත් හදිසි ගංවතුර නිසා සිදුවූ මහා විනාශය.. විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත්..
ටිබෙට්-නේපාල දේශසීමා ආසන්නයේ, 50,000 ක පමණ ජනගහනයක් වෙසෙන ප්‍රදේශයක සිදුවූ හදිසි නායයෑමක් සහ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මේ වන විට අට දෙනෙකු මියගොස් ඇති බව නේපාල මාධ්‍ය වාර්තා කරනවා.
ග්ලැසියර දියවීමත් සමඟ බෝටේ කෝෂි නම් ගංගාවේ ජල මට්ටම එකවරම ඉහළ යෑම මෙම ස්වාභාවික විපතට හේතුවී ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා.
නේපාල බලධාරින් පවසන පරිදි, මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාවට වඩා දැඩි ජීවිත හා දේපළ හානි වාර්තා වනු ඇති බවට සැක කෙරෙනවා.
ග්ලැසියර් ආශ්‍රිතව පිහිටි බෝටේ කෝෂි ගංගාවේ ජලය, හිම දියවීමත් සමඟ එකවර ඉහළ යෑම නිසා, ගඟ දෙපස පිහිටි ප්‍රදේශ වෙත විශාල ජල කඳක් ගලා ඒමෙන් ගම්මාන රැසක් යටවී ඇති අතර, නායයෑම්ද සිදුව තිබෙනවා.
මෙම විනාශකාරී හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූවන්ගේ සංඛ්‍යාව 579 දක්වා ඉහළ ගොස් ඇති බව නේපාල පොලිසිය නිවේදනය කරනවා.
මෙම අතුරුදන් වූවන් අතර රටවල් 28කට අයත් විදේශීය සංචාරකයින් 466 දෙනෙකු සහ නේපාල ජාතිකයින් 113 දෙනෙකු සිටින බව විදේශ මාධ්‍ය වාර්තා කළා.
ගංවතුරට හසුවූ ප්‍රදේශවල අතුරුදන් වූවන් සෙවීමේ සහ මුදාගැනීමේ මෙහෙයුම් නේපාල ආරක්ෂක අංශ විසින් තවදුරටත් දැඩි වෙහෙසක් දරමින් සිදු කරනවා. පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී තිබෙනවා.