වැලිකඩ බන්ධනාගාරයේ ආරක්ෂාව ගැන දැඩි ප්‍රශ්නාර්ථයක්.. උස්සපු සරමක් ඇඳ නියාමකගේ යතුරුපැදියෙන් රැඳවියෙකු පැනයයි.
Wednesday, 26 August 2026 - 18:01 | Views - 38

වැලිකඩ බන්ධනාගාර නිවාඩු නිකේතනය පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යෙදවූ රැඳවියෙකු, එහි තිබූ සරමක් ඇඳ බන්ධනාගාර නියාමක කළමනාකරුගේ යතුරුපැදියෙන්ම (25) දහවල් පලාගොස් ඇති බව බොරැල්ල පොලිසිය වාර්තා කරනවා.
මෙලෙස විස්මයජනක ලෙස බන්ධනාගාර පරිශ්‍රයෙන් පලාගොස් ඇත්තේ නාත්තන්ඩිය, මැදගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන එම්. එම්. උමේෂ් නමැති රැඳවියායි.
එහි කළමනාකරු ලෙස සේවය කරන බන්ධනාගාර නියාමකවරයා විසින් වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් තිදෙනෙකු නිවාඩු නිකේතනයේ පිරිසිදු කිරීමේ කටයුතු සඳහා යොදවා තිබෙනවා.
රැඳවියන් පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටින අතරතුර, අදාළ නියාමක කළමනාකාරවරයා දිවා ආහාරය ලබා ගැනීම සඳහා සිය නිල නිවස වෙත ගොස් තිබෙනවා.
ලැබුණු අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් සැකකාර රැඳවියා, නිවාඩු නිකේතනයේ තිබූ සරමක් ඇඳගෙන, ඉදිරිපිට යතුර සහිතව නවතා තිබූ නියාමකවරයාගේ යතුරුපැදිය පණගන්වාගෙන ලෙස්ලි රණගල මාවත දෙසින් වූ ගේට්ටුවෙන් පලාගොස් ඇති බව වාර්තා වුණා.
සිදුවීම සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, පලාගිය රැඳවියා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
Share This Article